Saturday, May 25, 2002

අප්පච්චී

අරකිටයි මේකිටයි කවි ලීව පිස්සා වගේ ...!
සමාවෙන්න මට අප්පච්චී
කවි නොලීවට නුඹට
කඳුලටයි සතුටටයි
මහ මෙරක් වගේ වුන
නුඹේ හීන් හිනාව මතක් වෙනකොට
(ඔන්න ඉතිං අදත් ලියන්න ගිය දේ අමතක වුනා)


සමාවෙන්න මට අප්පච්චී

Wednesday, April 10, 2002

වර්ණනාව


තනිපංගලමේ
රෑ ජාමේ
ඇවිදලා
කැළැල් හදා ගත්තට
බලන්න එපායැ
වර්ණනාව
හඳ ගැන......

Wednesday, March 20, 2002

සරසවි - ජනනී

නංවමු යසිසුරිනී
සනහමු කිතුගොසිනී
නමදිමු බැති පෙමිනී
පේරාදෙණි සරසවි - ජනනී

විදුධර වෙදැදුරු ශාස්ත්‍ර පරිණත

මෙහෙසුරු දිනිසුරු ඇදුරිඳු අභිමුව
සත්විධ ශිල්ප කලා - දිව ඔසුවෙන
සුවය සදා දෙන ඉසිවර අසපුව

හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත

මහවැලි කුමරිය තුරුල විභූෂිත
විසල් ලතාවෙක - එක තුර සුජනිත
කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත



Monday, February 25, 2002

අමාවක ළඟයි

යාන්තමට හඳ පළුවක්
තනි රකිනව හිත් අහසට
සිරි මැඳුරේ සදළුතලේ
නුඹ ඇයි කඳුලැලි පුරෝන....

අමාවකට බොහොම ළඟයි
එළියට බැස සඳ බලන්න
මැඳුරේ දොර වෙත පුළුවනි
ආපසු ගෙනවිත් හරින්න.....

වෙරළු මල් සුවඳ මැද හිඳ
කලාමැදිරි එළි ගනින්න
දියරැළි මත නැලවෙන සඳ
ගං ඉවුරේ හිඳ බලන්න...

තරහක් නෑ ගංගාවේ
අපි දිය බැසලා නෑව ද
මුහු වන්නට පෙර කරදිය
දිය දෝතක් ගෙන බීව ද

Wednesday, February 20, 2002

එකම සරසවි විදුබිමේ

අත්වැල් බැඳගමු ඹබත් මමත්
කෙළිදෙලෙන් සිනාසෙමු අදත් - හෙටත්
උන් උන් පරයා දිවයන්නට නොව
උරෙ'නුර ගැටෙමින් තනනට නව ළොව

පෙන නගා උතුරා සැහැසිව
ශාන්තව සුනිලව - නිසලව
කොහොම ගැලුවද මහවැලි
මිතුදමින් හිඳිමු
එකම සරසවි විදුබිමේ....

අඳුරු කළු මේඝයෙන් වැසුනද
සිහිල් සුදු මීදුමින් වෙළුනද
හන්තානේ කඳු ඇතිතුරා
මිතුදමින් හිඳිමු
එකම සරසවි විදුබිමේ....

Tuesday, February 19, 2002

අවසරයි නුඹට

ඔය ඇති
හොඳටම ඇති,
මා අදිනු බෑ නුඹට මේ පවුරු වළල්ලෙන් ..
මියැදෙන්න පළමු හද පැලී
අතහරින්න මා ,
මගේ ගෲෂාවනි...

අසඩක්ලා නැති ලොවක
නොපැමිණියද කැටුව
අපරාජිතයි නුඹ - කොහොමටත්...
ප්‍රේම කරමි මම
හිතන්නටත් බැරි තරම්...
ඒ නිසා ,
ඉඩ තබනු බෑ නුඹට
ගිරි දුර්ග - වන දුර්ග මාවතේ
මා නිසා
ගෙයින් ගෙයින් යදින්නට කිරි පොදක්...
නොබලා මා දෑස් උල්පත්
ඔසවන්න පියවර තනිවම...
ඉතින්,
අවසරයි නුඹට....

Saturday, January 19, 2002

තුනුවි

වැහිපොද වැටේනම් නාඹර කිනිත්තට
සුසුවඳ මල් කැකුළු පෙළඹේ පිපෙන්නට
සිරිපොද ලෙසින් පතිතව සිත දොවන්නට
බැරිවෙද හෙමින් තුටු කඳුලක් හෙලන්නට

පිපුණද බාඳුරා ගොමු සුන්දර ලෙසිනි
ගුම්නද දෙමින් ගිය බඹරිඳු නොම වැටුනි
දුටුවද නේක ලලනාවන් යස රුවිනි
මා හද ඇඳුනු පෙම් සිතුවම නුඹ පමනි

පුරපස සඳකි වත සියපත පිපුණාම
ලැමහස තුනුවිලට කැදවයි ඉඳුරාම
මදහස පිරි මුවඟ පෙම් බස් පිරුණාම
සෙනෙහස නොම පුදා මම ඉන්නද කෝම

සිසිවත ඇදෙන විට පැහැදිලි අහස දිගේ
වුවනත නුඹේ නිතැතින් මතකයට නැගේ
සවනත වැකෙන විට සියොතුන් නාද මගේ
හදවත පිරෙයි නුඹ ලඟ ඇති විටදි වගේ

Tuesday, December 25, 2001

සඳේ

සඳේ නැගී වළා පෙලේ
ඇගෙ කුටියට හෙමින් එබී
සැතපෙන ඈ සවන් අගට
කියන්න කොඳුරා ....
ආදරෙයි මා ආදරෙයි 

මුවට නැගෙන සිනා පොදක්
සුව සිහිනෙක මිහිර කියයි
සඳ කැල්මෙන් ඈ නින්දෙන්
මුදන්නට එපා ...
ඈ උවනට නුඹ පරදියි
කෝල වෙලා නෝක්කාඩු
කියන්නට එපා ...

ඇගෙ සුසුමක රැඳි උණුසුම
මා දෙනෙතට පමණි උරුම
සෙමෙන් සැලෙන සුමුදු හසුන්
බලන්නට එපා ...
ඈ සුවඳින් මන් මත් වෙයි
කවුළුව ළඟ බොහෝ වෙලා
රැඳෙන්නට එපා ...


Sunday, November 25, 2001

නුහුරු වදනක් වූවද

පාර කෙළවරින්
රුව පෙනෙනා තුරු
දොරකඩ හිඳගෙන බලා සිටින්නෙමි
බෝල ලොසින්ජර නැතුවට කම් නෑ
ගෙදර එනවනම්
ඔබ ආයේ .....

දිවට නුහුරු වදනක් වූවද ඔබ
හිතට පුරුදු සුවඳයි
ඔබේ ගෙලේ එල්ලී පෙර කල සේ
ඒ සුවඳේ කිමිදෙන්න හිතයි .....

හිසට සෙවණ සිසිලස අමතක නෑ
අතැර ගියත් පෙරදා
නිවසේ දොරටුව
ඔබ හට වැසුනද
මගෙ හද ඔබ වෙනුවෙන් ඇරිලා ....

Tuesday, September 25, 2001

සැමරුම් කැටිකොට

නුඹෙන් තිලිණ ලද
සැමරුම් කැටි කොට
දෑස දෑල නැගි කඳුළු වැලින්
මල් පොකුරක් ගෙන
සමුගෙන යනු මැන
ලබැඳි
එකම එක සිනාවකින්.............


නොබිදෙන මිතුදම්
සුවඳ විජිතයේ
එකාවන් ව ඉන්නට එක්වී
දෑත විදා තුරුලට කැන්දාගෙන
පිය තෙපුලින් හද
සෙනෙහස පෑ .........


නැගෙන වාරු දුන්
අත්වැල සිඳ දා
එකෙකු නැගෙන තවකෙකු පාගා
මරු වැල් පාදන
කුහක ලෝකයක
එක මව් කුස සිටි
සෙනෙහස පෑ ............