Friday, December 20, 2002

සිනහව

සිනාසෙමි
පෙන්නා දත් දෙක තුනක්
ඒ සැනින් මතක් වේ
දත්මිටි කන්නට හැකි
බව ඉතිරිවා හැමෙකින්ම

Tuesday, November 5, 2002

නාඳුනන්නී

නාඳුනන්නී .....
හෙමිහිට ඉකිබිඳින්නී
දෝතම ගෙන කඳුළු බිංදු එකතු කරන්නී ....
නාඳුනන්නී...
සුසුමින් ළය පුරන්නී
නුවරට යන කෝච්චියේ මා අසලින් හිඳින්නී ....


සිත උතුරා වාන් දමන
ඉකිබිඳුමට දෙවුර සැලෙන
ආගන්තුක කොයි දෑසද බොඳව නොයන්නේ
නුඹ කවුරුද නොදන්නමුත් කඳුලැලි හඳුනන්නේ ...


පැතූ පැතුම් කඩා වැටෙන
සමනළ තටු රටා බිඳෙන
හීන් දුකකි කුණාටුවක් වෙලා හමන්නේ
කොපමණ හැඬුවද අහසක් සඳ නෑ සේදෙන්නේ .....


Tuesday, August 20, 2002

අහස වගේ

පි : අහස වගේ
හැමදාම වෙනස් වෙන
නීල නුවන් තල,
කොහොම ගොනු කරන්නද ?
එකම කවියකට...

පි : හැන්දෑවක දිලිසෙන රතුපාටට
තවත් දිනෙක පාළුව වැහි ඇඳිරිය
වලා කෙහෙරැලේ අතරින් ඉඟිකර
නිල් පැහැයෙන් හිනැහෙයි තව දවසක...

ගැ : ඉරක් වගේ ඔබ පායා නෙත'දර
ඇයි බැස යන්නේ රිදවා රතු කොට
ආදරයෙන් පුරවන්න හෙමින් හිත
නිල් අහසක් ලෙස ඉන්නම් හැමදින....

ගැ : කුණාටුවක්වී ඔබ හමනා කොට
නාඬා ඉන්නට හැකි කොයි අහසට ?
කඳුළු වැස්සකින් නහවා මුළු ළොව
සොයමි සෙනෙහසක් ගල්කුළු දියකර.....

Thursday, June 20, 2002

කඳුලේ මළගමට එන්න

මලා නිකව තුරු වදුලු ද සුවඳැති මදනල සොයාය
කලා පුරන තුරු සඳවති ආකහෙ කඳුලැලි හැලේය
සලා නුවන් පියාපතින් නිවනට ගිම් හිම් බොහෝය
තලා මසිත ගම රට ගොස් දෑසට කඳුලැලි නඟාය


සිටත් නෙක දනා අතරේ තනිකම විත් මා වෙලුවා
දුටත් නෙත පිනන දැකුමන් තවත් කිසිත් වෙද බැලුවා
හෙටත් එමි කියා බඹරෙක් මලකින් අත්තටු සැලුවා
මටත් හොරා හිත ඇතුලෙන් කවියක් සුසුමෙක හෙලුවා


” කලකට රහ වෙලා කලකට වහ වේනම් රහ කුමටද
වෙලකට දියවර ද පැහිකල විෂ වේනම් වැහි කුමටද
මලකට උරුම කටු දෑතට වද දේ නම් මල් කුමටද
හිතකට සිහිල පා මේ ලෙස දවනේ නම් පෙම කුමටද ”


වැලලුනු පසු දෝනාවක වට ඇති මිණිකැට වටීද
මියැදුනු කල දියේ ගිලී යට ඇති මුතු ඇට වටීද
රිදවුනු පසු හද පත්ලෙන් මතුවන කවිපද වටීද
ලියලුනු හද සෙනෙහසකට මෙහෙම සමච්චල් වටීද


න ල රැ ලි තුරු හිස් පිස හැර විහඟ සරය පතුරුවන්න
දි ය රැ ලි දඟපා නදියේ මිණි කිංකිණි හඬ නගන්න
කෙහෙරැ ලි තුර රැඳි සුවඳින් සෙනෙහස උතුරා ගලන්න
හ ස රැ ලි පොදි බැඳ කඳුලේ මළගම වෙත හනික එන්න

Saturday, May 25, 2002

අප්පච්චී

අරකිටයි මේකිටයි කවි ලීව පිස්සා වගේ ...!
සමාවෙන්න මට අප්පච්චී
කවි නොලීවට නුඹට
කඳුලටයි සතුටටයි
මහ මෙරක් වගේ වුන
නුඹේ හීන් හිනාව මතක් වෙනකොට
(ඔන්න ඉතිං අදත් ලියන්න ගිය දේ අමතක වුනා)


සමාවෙන්න මට අප්පච්චී

Wednesday, April 10, 2002

වර්ණනාව


තනිපංගලමේ
රෑ ජාමේ
ඇවිදලා
කැළැල් හදා ගත්තට
බලන්න එපායැ
වර්ණනාව
හඳ ගැන......

Wednesday, March 20, 2002

සරසවි - ජනනී

නංවමු යසිසුරිනී
සනහමු කිතුගොසිනී
නමදිමු බැති පෙමිනී
පේරාදෙණි සරසවි - ජනනී

විදුධර වෙදැදුරු ශාස්ත්‍ර පරිණත

මෙහෙසුරු දිනිසුරු ඇදුරිඳු අභිමුව
සත්විධ ශිල්ප කලා - දිව ඔසුවෙන
සුවය සදා දෙන ඉසිවර අසපුව

හන්තාන සිහිල් කඳුලැස්සෙන් පෝෂිත

මහවැලි කුමරිය තුරුල විභූෂිත
විසල් ලතාවෙක - එක තුර සුජනිත
කුසුම් කැකුළු වෙමු අරුණට විකසිත



Monday, February 25, 2002

අමාවක ළඟයි

යාන්තමට හඳ පළුවක්
තනි රකිනව හිත් අහසට
සිරි මැඳුරේ සදළුතලේ
නුඹ ඇයි කඳුලැලි පුරෝන....

අමාවකට බොහොම ළඟයි
එළියට බැස සඳ බලන්න
මැඳුරේ දොර වෙත පුළුවනි
ආපසු ගෙනවිත් හරින්න.....

වෙරළු මල් සුවඳ මැද හිඳ
කලාමැදිරි එළි ගනින්න
දියරැළි මත නැලවෙන සඳ
ගං ඉවුරේ හිඳ බලන්න...

තරහක් නෑ ගංගාවේ
අපි දිය බැසලා නෑව ද
මුහු වන්නට පෙර කරදිය
දිය දෝතක් ගෙන බීව ද

Wednesday, February 20, 2002

එකම සරසවි විදුබිමේ

අත්වැල් බැඳගමු ඹබත් මමත්
කෙළිදෙලෙන් සිනාසෙමු අදත් - හෙටත්
උන් උන් පරයා දිවයන්නට නොව
උරෙ'නුර ගැටෙමින් තනනට නව ළොව

පෙන නගා උතුරා සැහැසිව
ශාන්තව සුනිලව - නිසලව
කොහොම ගැලුවද මහවැලි
මිතුදමින් හිඳිමු
එකම සරසවි විදුබිමේ....

අඳුරු කළු මේඝයෙන් වැසුනද
සිහිල් සුදු මීදුමින් වෙළුනද
හන්තානේ කඳු ඇතිතුරා
මිතුදමින් හිඳිමු
එකම සරසවි විදුබිමේ....

Tuesday, February 19, 2002

අවසරයි නුඹට

ඔය ඇති
හොඳටම ඇති,
මා අදිනු බෑ නුඹට මේ පවුරු වළල්ලෙන් ..
මියැදෙන්න පළමු හද පැලී
අතහරින්න මා ,
මගේ ගෲෂාවනි...

අසඩක්ලා නැති ලොවක
නොපැමිණියද කැටුව
අපරාජිතයි නුඹ - කොහොමටත්...
ප්‍රේම කරමි මම
හිතන්නටත් බැරි තරම්...
ඒ නිසා ,
ඉඩ තබනු බෑ නුඹට
ගිරි දුර්ග - වන දුර්ග මාවතේ
මා නිසා
ගෙයින් ගෙයින් යදින්නට කිරි පොදක්...
නොබලා මා දෑස් උල්පත්
ඔසවන්න පියවර තනිවම...
ඉතින්,
අවසරයි නුඹට....

Saturday, January 19, 2002

තුනුවි

වැහිපොද වැටේනම් නාඹර කිනිත්තට
සුසුවඳ මල් කැකුළු පෙළඹේ පිපෙන්නට
සිරිපොද ලෙසින් පතිතව සිත දොවන්නට
බැරිවෙද හෙමින් තුටු කඳුලක් හෙලන්නට

පිපුණද බාඳුරා ගොමු සුන්දර ලෙසිනි
ගුම්නද දෙමින් ගිය බඹරිඳු නොම වැටුනි
දුටුවද නේක ලලනාවන් යස රුවිනි
මා හද ඇඳුනු පෙම් සිතුවම නුඹ පමනි

පුරපස සඳකි වත සියපත පිපුණාම
ලැමහස තුනුවිලට කැදවයි ඉඳුරාම
මදහස පිරි මුවඟ පෙම් බස් පිරුණාම
සෙනෙහස නොම පුදා මම ඉන්නද කෝම

සිසිවත ඇදෙන විට පැහැදිලි අහස දිගේ
වුවනත නුඹේ නිතැතින් මතකයට නැගේ
සවනත වැකෙන විට සියොතුන් නාද මගේ
හදවත පිරෙයි නුඹ ලඟ ඇති විටදි වගේ