Saturday, September 20, 2003

වෙදහාමිනේ

මහා ලොකු වරදක් ද
රහ බැලූවාට පොඞ්ඩක්
තුහිනයට පිපිරිච්ච
මා දෙතොල් මත
නුඹ ගෑ
මී පැණි .....

Wednesday, August 20, 2003

විප්ලවවාදියාගේ පෙම්වතිය

බලාගෙන ඉඳිමි
නුඹෙ දෙසුම්
පෑ ගණන්
නොතේරුණද කිසිවක්
”සහෝදරවරුණි ” කියනකොට
”අයුක්තිය ” කියනකොට
ලස්සනට උල්වෙන
නුඹේ හීනි දෙතොල්මත
තබන්නට හිතෙනව හෙමිහිට
හාද්දක් ...

Sunday, July 20, 2003

වසන්තය ඔබ

වසන්තය ඔබ
හේමන්තයේ සැඩ කුණාටුව හමුවේ
පලාගිය ...
රත්ලවන් - එරබදු මලින් දිසි
පිය තෙපුල් - කෝකිල හඬින් පිරි
හේමන්තයේ සැඩ කුණාටුව හමුවේ
පලාගිය ,
වසන්තය ඔබ ...
පෑල දිග අහසේ රන් පැහැ
මලානික හිරු කිරණ අතරේ
කෙවෙනි අග උණු කඳුළු රඳවා
මිලින වී ගිය ,
වසන්තය ඔබ...
උණුසුමේ දිලි තාරකාවන්
දමා තනිකර අමාවක වී
නිමල හද ගැබ අඳුරු කරවා
සෙමින් බැස ගිය ,
වසන්තය ඔබ...

Saturday, March 15, 2003

පාර මතකනම්

ඉපල් වූ අතපයට
නර කෙසම ගෙන සෙවණට
ඉර හඳෙහි එළි යට
වේලට දෙකට වෙහෙසෙන

සෙනේ දිය කෙණ්ඩිය
පය ගසා බිඳි මදැ’තු ව
පුතු ගොසින් උරණව
නොබලාම දෑස අසරණ

කිරි කර ලේ දුනද
අප්පගෙම ලේ උරුමය
කරදඩු උස්වෙලා
කඬේ ණය පොත පුරවන

කුසහොත් කළලයට
පෙකණිවැල පිදු පාපෙට
කප්කෙලක් විලිවැද
වැලපුනා බෝම එකලද

කොපමණ රළු වුවද
උනහපුළු පැටවාද පැටවෙක
කමාකර සිය වර
තුරුලට සිතින් කැන්දන

පෙම්බර පුතු ලයැ’ව
අඳුයම බිඳෙන සිහිනෙන
නෙත කඳුළු පිරිපත
රටා ඇඳි දෙකොපුලට කොදුරන

වරද පිරි දෙපතුල
පිස වඩිනතුරු ගෙතුලට
එළාගෙන සෙනෙහස
මවුවරය මඟ බලන දොරකඩ