Wednesday, January 20, 2016

“රාජ පොරොන්දුව”- සමස්ත ලංකා පාසල් ළමා නාට්‍යය

රාජ පොරොන්දුව”- පාසල් ළමා නාට්‍යය  - පිටපත: දිල්රුක්ෂි රත්නායක - මැදි විදුහල - අනුරාධපුර

(වේදිකාව කැලයක සිරි ගනී.  පන් මල්ලක් කරේ එල්ලාගත් ළමයෙකු වේදිකාව මැදට දුවගෙන එයි.)
ටිකිරා:   (මල්ල බිමතබා වේදිකාවේ පසෙකට හැරී)   ඒ.. සිරිමල්.. ඔය ඇති, ඔය ඇති...
            කඩාගත්ත ටික අරගෙන එන්නකෝ... ඉක්මනට එන්නකෝ...
ළමයි:                එනවෝ..... (ළමයි රංචුව දුවගෙන එයි. පළතුරු ටික බිමට හලා හති අරියි....)
ටිකිරා:   (මලී දෙස බලා) මහන්සිද?
මලී:      නැතුව.. දැන් පැයක් විතර ඇවිද්දනේ ...
කුසුමි : (ගැහැණු ළමුන්ගේ අත් අල්ලා සංගීතයට අනුව නැටුමක් පටන් ගනිමින්) ඉතින් ඒකත් සෙල්ලමේ කොටසක් නෙ.....
පැංචි :    (ගායනය ආරම්භ කරමින් ) මල් නෙලලා  හිස ගසන්න ...
කුසුමි : සමනළයින් ලුහුබඳින්න 
(පිරිමි ළමුන්ද දුවවිත් නැටුමට එක්වෙයි )
ගැහැණු ළමුන්:   මල් නෙලලා  හිස ගසන්න - සමනළයින් ලුහුබඳින්න 
පිරිමි ළමුන් :      දොළ  පාරට පැන නටන්න - දණ්ඩි කොරළි හැඩ බලන්න
සියළු ළමුන්:      කරඹ හිඹුටු ගෙඩි කඩන්න - දවස පුරා දුව පනින්න
                        වන වදුලට අපි එනවා ...
                        ගම්මැද්දේ ඉස්මත්තේ ,
                        වන වදුලට අපි එනවා ...
                        මල් නෙලලා  හිස ගසන්න - සමනළයින් ලුහුබඳින්න 
                        දොළ  පාරට පැන නටන්න - දණ්ඩි කොරළි හැඩ බලන්න
                        දණ්ඩි කොරළි හැඩ බලන්න….
ටිකිරා:  (මාලුවෙකු මෙන් රඟමින් ගොස් පන්මල්ල අහුලා ගනී) ඇති ඇති, අදනං සෙල්ලම් කරන්න වෙන්නෙ නෑ. අපරාදෙ මං බඩු මල්ලකුත් ගෙනාව.
මලී:      මොනා කරන්නද ඕවා...
ටිකිරා:   ඕනෙ සෙල්ලමක් කරන්න පුළුවන්.
සුවඳා:    එහෙනං ඊයේ වගේ අන්ධයගෙ සෙල්ලම කරමුද?
කුසුමි : අනේ බෑ... මෙයා හොරෙන් බලනවා...
ටිකිරා:  හරි හරි අද මං අල්ලන්නම්කො..
පැංචි :    අන්න හරි ( ඇය දුවගොස් ටිකිරා ගෙනා මල්ලෙන් රෙදි කඩක් ගෙන ඔහුගේ ඇස් බඳියි)
පැංචි :   ඔන්න හරි (ටිකිරා ව කරකවයි)
ටිකිරා:   හැබැයි ඈතට යන්න බෑ ඔන්න...
ළමයි:    හරි හරි... (සිනාසෙමින් දිව යයි)
(ටිකිරා වේදිකාව වටා කැරකෙමින් යයි.  ආභරණයින් සැරසුනු කුඩා රජ කුමරෙකු කැලයදෙස බලාගෙන පසු පසට හැරී වේදිකාවට පිවිසෙයි. ඇගේ හැපුණු විගස දෑස් බැඳි ටිකිරා කුමාරයා අල්ලා ගනී.  කුමාරයා කෑගසයි)
ටිකිරා:   ඇල්ලුවා....(රෙදි පටිය ගලවා බලා කුමාරයා දැක බියවේ.  දෙදෙනාම  එකට කෑගසා දෙපසට දිව යයි)
(ළමුන් කුමාරයාව දකියි. කුමාරයාද ළමයින්ද එකට කෑගසමින් වේදිකාවේ පැති මාරුකරගනී)
ළමයි:    මේ කවුද?....
සුවඳා:    මං හිතන්නෙ දෙවියෙක්.... අම්මා තමයි දවසක් කිව්වෙ කැලේ දෙවිවරු ඉන්නවා කියලා.
සිරිමල්: ඒක තමයි , රුක් දෙවියෙක් වෙන්න ඇති, ඇයි අපි ගස් ගෙඩි සේරම කඩාගෙන නෙ ආවේ....
ටිකිරා:  රුක් දෙවියෙක් කෝපවෙලා...
කුමාරයා:           නෑ .... නෑ... මං ඔය කියන කවුරුවත් නෙවේ...
ළමයි:    එහෙනං ?....
කුමාරයා:           (සංගීතය අනුව ගායනය අරඔමින්)
                        නෛකශ්‍රීන් විරාජමාන  - පිහිටි රටේ මහ රජුගේ
                        පුත් කුමරුන් මං ....
                        සූසැට ශිල්පය සරිකොට - අනාගතේ අගරජු වෙන
                        පිහිටි රටේ ඔටුන්න හිමි,  කුමාරයා මං...
                         
                        කඩු ශිල්පය
                        දුණු ශිල්පය
                        ඉතිහාසය - ගණිත කර්ම
                        නක‍්ෂත්‍රය - ජ්‍යොතිෂ්‍යය
                        අසුපිට යන - විශ්ම කර්ම

                        ඇදුරුතුමන් වට කරගෙන
                        ඔළුවට දෙන වද තිස් දෙක,
                        ....එපා...වෙලා.....!

                        මාලිගාවෙ සඳළුතලෙන්
                        බිමට බැහැල හොර රහසෙම
                        කුරුබිලියෙන් පැන ආවේ
                        ඩිංගක් සෙල්ලම් කරන්න,
                        කන්ද දිගේ - ලන්ද දිගේ
                        නෙක විසිතුරු රස විඳ විඳ
                        ඈත ඈත ඇවිද ගිහින් මුළා වුනේ මග නොම දැන.....

ළමුන්:   (ගායනය කරමින්) ඈත ඈත ඇවිද ඇවිත් මුළා වෙලා මග නොම දැන.
සිරිමල්: රාජ කුමාරයෙක්?.., අපේ රජතුමාගේ පුත් කුමාරයා....
ටිකිරා:   හොරෙන් ආවා.....?
ළමයි:    ඉගෙන ගන්න එපා වෙලා...?
පැංචි: කාටද ඉගෙන ගන්න එපාවෙන්නෙ...?අපිනං හරි ම ආසයි ඉගෙන ගන්න...  (ඉදිරියට පැමිණ)
            අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා
            වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
            කල්ගිය රෙදි වැරැලි හැඳ දැලි කුණෙන් වකා
            ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

            දුක් විඳලා ...දුක් විඳල ..හරි අනාගතේ වෙනුවෙන් හොඳින් ඉගෙන ගන්න කියල  පංසලේ හාමුඳුරුවො අපිට කියල දීලා තියෙන්නෙ.
සිරිමල්:  තිබූතැනෙක සොර සතුරන් ගත නොහෙනා
            එසැඩ මනාවත් වතුරෙන් වල නොයනා
            කෝප වුවත් රජමැතිඳුන් ගත නොහෙනා
            මතු රැකෙනා ශිල්පයමයි උගතමනා
(ළමයි සියල්ලෝම සිනාසෙති)
සිරිමල්: මොකද හිනා වෙන්නෙ ..? අපේ සීයගෙ කටේ තියෙන්නෙම ඔය කවිය...
මලී:      අයියෝ සිරිමල් , මතු රැකෙනා ශිල්පයමයි උගතමනා නෙමේ....
            උගතමනා ශිල්පයමයි මතු රැකෙනා..
කුමාරයා: (යාන්ත්‍රිකව මෙන් )
            න චෝර හර්යාම්  - න රාජ හර්යාම්
            න භ්‍රත භජ්යම් - නච භාරකාරී
            වියායේ ක්‍රාතේ - වර්ධාතෙ ඒව නිත්යම්
            විද්‍යා ධනම් - සර්ව ධන ප්‍රධානම්

ළමයි: ඒ මොකක්ද ඒ...?
කුමාරයා: ඒක සංස්කෘත ශ්ලෝකයක්.....
            සොරෙකුටද  ගත නොහැකි - රජෙකුටද ගත නොහැකි
            පවරාගත නොහැකි - අනුන්ට දීමෙන්  තවත් වර්ධනය වෙන ධනයක් වේනම් - එය
            සියළු ධනයන්ට වඩා වටින අධ්‍යාපනය නැමැති ධනයයි....

            එහෙම දේවල් මාත් ඉගෙනගෙන තියෙනවා..
            ඒත්  .....ඒත් මට සෙල්ලම් කරන්න ඕනෙ ...
            (යමක් මතක් වූ ලෙස) ඔයාල මෙතන මොකද කරන්නෙ..?
ළමයි:    (එකිනෙකාගේ මුහුණු බලා ඉඟිකර නැටුම ආරම්භ කරමින් ගයයි)
                        මල් නෙලලා  හිස ගසලා - සමනළයින් ලුහුබැඳලා
                        දොළ  පාරට පැන නටලා - දණ්ඩි කොරළි හැඩ බලලා
                        කරඹ හිඹුටු ගෙඩි කඩන්න - දවස පුරා දුව පනින්න
                        වන වදුලට අපි ආවේ...
                        ගම්මැද්දේ ඉස්මත්තේ ,
                        වන වදුලට අපි ආවේ...

කුමාරයා: ආ ... නියමයි...මාත් හෙව්වේ ඔයාලා වගේ අය තමයි.
පැංචි:     ඇයි කුමාරයට යාළුවො නැද්ද?
කුමාරයා: මං කිවුවනෙ, ....මට යාළුවො තියා සෙල්ලමක් ගැන හිතන්නවත් වෙලාවක් නෑ ...
මලී:      අනේ පවු කුමාරයා...
කුමාරයා: එහෙනං අපි සෙල්ලම් කරමුද?......අපි අර සෙල්ලම ආයෙත් පටන් ගමු. (ටිකිරා දෙසට අත දිගු කරමින්) ඔයාගෙ නම මොකක්ද?
ටිකිරා:   මං ටිකිරා....මෙයා මලී, (එක් එක් ළමයා පෙන්වමින්) සුවඳා,  සිරිමල්,  පැංචි, කුසුමි අපි ඔක්කොම එක ගමේ...
කුමාරයා: මම එහෙනං ටිකිරගේ ඇස් බඳින්නම්, ඔයා ආයෙත් අපිව අල්ලන්න. (කුමාරයා රෙදි කැබැල්ල ගෙන ටිකිරාගේ ඇස් බැඳීමට සැරසේ)
ටිකිරා:   (දෑස් පියා ක්ෂණයෙන් ) පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න මොකක්ද සද්දයක් ඇහෙනවා.
(ළමයින් සියල්ල වේදිකාවේ දකුණු පසට දිවයයි. ටිකිරා ළමයින්ගේ කරමත නැග සවන්දෙයි)
ළමයි:    ඇහෙනවද..?
ටිකිරා:  ඈතින් ඇහෙනවා...ගම්මැද්දෙන්.... ඒ අණ බෙරයක් ..!
ළමයි:    මොනවද කියන්නෙ..?
ටිකිරා:  පොඩ්ඩක් ඉන්න................  කුමාරය අතුරුදහන් වෙලාලු..
ළමයි:    (කුමාරයා දෙස බලමින්) කුමාරය අතුරුදහන් වෙලාලු....?
කුමාරයා: මේ මං?, මගේ මොනවද අතුරුදහන් වෙන්නේ.... මං හොඳට ඉන්නේ...
ටිකිරා:  (තවදුරටත් සවන්දෙමින් )කුමාරය හොයල දුන්න කෙනෙකුට ඉල්ලන ඕනෙ වරයක් දෙනවලු. (ළමුන් දෙස බලමින්) රජ මාලිගාවෙ හොඳටම කළබල වගේ...
කුමාරයා: කළබල වෙද්දෙන් කළබල වෙද්දෙන්....
            මගෙනම් නෑ කිසි කළබලයක්.....
මලී:        එහෙම කියන්න එපා කුමාරයා... රජතුමයි දේවියයි අඬනවා ඇති.
සිරිමල්: ඇත්ත තමයි, අපෙ අම්මලා අප්පොච්චිල අපිට කොච්චර ආදරේද හිතෙන්න මේ වගෙ වෙලාවක. මතකද දවසක් මං ගෙදර යන්න පරක්කුවෙලා අපෙ අම්මා අඬ අඬ මුළු ගමේම මාව හොයල තිබුන.
කුමාරයා: (පසුතැවෙමින්) මෑණියනුත් කළබල වෙලාද දන්නෑ....
            ඒත් මටනං දැන්මම යන්න බෑ වගේ. සෙල්ලම පටන් ගත්ත විතරයිනෙ...
ටිකිරා:   එහෙම කියල බෑනෙ .......           කුමාරය අපි ළඟ ඉන්නව දැක්කොත්  අපිටත් රාජ දඬුවම් විඳින්න වෙයි..
ළමයි:    ඒක ඇත්ත.
කුමාරයා: එහෙනම් මොකද කරන්නෙ, මට සෙල්ලම් කරන්නත් ඕනේ..... ඔයාලට මාව තියාගන්නත් බෑ.... (කල්පනා කර) ම්  හරි..... පිය රජතුමා කිව්වනෙ ඉල්ලන ඕනෙම දෙයක් දෙනවා කියලා...ඔයාල ඉල්ලන්න හැම සතියෙම දවස් දෙකක් මාත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න කියලා.
ළමයි:    හරියට හරි.... ඒක නම් නියමයි.
කුමාරයා: තව එකක් .. මට මේ විදියට යන්න බෑ.... එහෙම වුනොත් අණ බෙර කාරයොම මාව මාලිගාවට අරන් යයි.
ටිකිරා:   ඒක ඇත්ත... අනික, හොරෙක් වුනත් අපිව රවට්ටලා කුමාරයාව අරන් යන්න පුළුවන් තෑග්ග ගන්න.
            මං ගාව තියෙනවා හොඳ අදහසක්
            (ටිකිරා මල්ල අවුස්සන අතර  කුමාරයාද ටිකිරාද මැදි කොට ළමයි වට කර ගනී)
ටිකිරා:   දැන් කොහොමද (ළමුන් මෑත් වන විට කුමාරයා සාමාන්‍ය ගමේ ළමයෙකුගේ ඇඳුමක් ඇඳ සිටී)
කුමාරයා: (අභරණ ගළවා මල්ලට දමමින්)... ෂා හරිම සැහැල්ලුයි. මේ රජ ඇඳුම් ආභරණ කොච්චර බරද? ..
ටිකිරා:   එහෙනම් අපි යමු
            (ළමයි සියල්ලෝම වේදිකාවේ ඉදිරි දකුණුපසින් බැස ගොස් වේදිකාවේ ඉදිරි වම්පසින් ගොඩ වීම සඳහා ගයමින් යති)
            මල් නෙලලා  හිස ගසලා - සමනළයින් ලුහුබැඳලා
            දොළ  පාරට පැන නටලා - දණ්ඩි කොරළි හැඩ බලලා
            වන වදුලෙන් - ගම්මැද්දෙන්
            මාලිගයට අපි යනවා
            රජතුමාව - මුණගැහෙන්න
            මාලිගයට අපි යනවා....
(වේදිකාවේ මාළිගයකි, දොරටුපාලකයෙකු සිටී ළමුන් එතනට දිව යයි, දොරටුපාලකයා ඔවුන් නවත්වා ගනී)
දොරටුපාලක:  හා...හා.... මේ ළමයි කොහෙද මේ යන්නෙ....,
ළමයි:    අපි යනවා රජතුමාව මුණගැහෙන්න ...
දොරටුපාලක:  (ළමයින්ව අනුකරණයෙන්) අපි.. යනවා.. රජ...තුමාව.. මුණ..ගැහෙන්න... !... (තරහෙන්) බාප්පොච්ච බලන්ට යන්නෑහේ  ඕනෙ ඕනෙ වෙලාවට ඕනෙ එහෙකුට යන්ට දෙන්න නං දොරටුපාලකයෙක් ඕනෙද?.... දැන් මොකටද ඔය මහරජතුමාව මුණ ගැහෙන්නෙ?
(ළමයි කසු කුසුවකින් පසු)
සුවඳා:   රජතුමාට පණිවිඩයක් කියන්න
දොරටුපාලක:  (චාටුවෙන්) ඉතිං මොකක්ද ළමයිනේ  ඔය පණිවිඩේ....
ටිකිරා:   එහෙම කියන්න බෑ... ඒක රජතුමාටමයි කියන්න ඕනෙ...
දොරටුපාලක:  (වට පිට බලා - තරහෙන්) විස්තර කියන්නේ නැතිව ඇතුළට යන්න දෙන්නේ නෑ....ඇරත් රජතුමා කැමතිත් නෑ මේ ගමේ ගොඩේ කොල්ලො කුරුට්ටෝ දැලිකුණු ගාගෙන රාජ සභාවට එනවට.
            හ්ම්...හ්ම්... කියන්න බැරිනම් යනවා... යනවා...ආපහු...(ඔහු දරුවෙකු තල්ලු කරයි)
කුමාරයා: හරි හරි පණිවිඩේ කියන්නම් (ළමයි ඔහු වළක්වයි... ළමයින්ගේ අත් ඉවත් කරමින්)
            අපි දන්නවා කුමාරයා ඉන්න තැන.
දොරටුපාලක:  (පුදුම වී... එහෙත් ඒ බව නොපෙන්වා චාටුවෙන්) ආ...නේ.. කෝ ඉතිං දැන් කුමාරයා...(හඬමින් ) අනේ අපි කුමාරයා දැක ගන්න නැතිව හරිම දුකෙන් හිටියේ.... යං යං ...මං එන්නම් කුමාරයා අඬගහගෙන එන්න...(හැඬුම වැඩි කරමින්) මට නම් කුමාරය දකින්නේ නැතිව ඉන්න බෑ...
ටිකිරා:   නෑ ...නෑ...‍අපිට කුමාරයව එක්ක එන්න පුළුවන්. ඒත් කුමාරයා ඉන්න බව අපි රජතුමාට දන්වන්න ඕනෙ...
දොරටුපාලක:  මේ ළමයි හදන්නෙ රජතුමා දෙන තෑගි බෝග ගන්න නේ... මං ළමයින්ට ඇති තරම් තෑගි දෙන්නං, කෑම බීමද ඇඳුම් පැළඳුම් ද , තව ලස්සන සෙල්ලම් බඩු ගොඩාක්...ළමයි මට කියන්න කුමාරයා ඉන්න තැන. එතකොට මට පුළුවන් මහරජතුමාව පුදුම කරවන්න. ඔය ළමයි ඔය කුණු දූවිලි මඬපිටින් රජතුමා ළඟට ගියොත් රාජ උදහසට ලක්වෙයි...(රහසින්) රජතුමා ඔය හිටියට හරි වසයි...
කුමාරයා: (තරහින්) මෙයා කියන්නෙ බොරු ..මගේ පිය..(ටිකිරා කුමාරයාව වළක්වයි)
ටිකිරා:   එ..එයාගේ අප්පොච්ච කිවුව රජතුමා ළමයින්ට හරිම ආදරෙයි කියල...
කුමාරයාඅපිට යන්න දුන්නෙ නැත්නම් අපි මෙතන ඉඳල කෑ ගහනවා...
දොරටුපාලක:  හා...හා..හා.. මේ ළමයි කලබල කරන්න එපා...මම යන්න දෙනවා... හැබැයි මට එක පොරොන්දුවක් වෙන්න ඕනෙ...
ළමයි:    ඒ මොකක්ද ඒ..
දොරටුපාලක:  (රහසින්) මේ ළමයි ගිහිල්ලා රජතුමාගෙන් තෑග්ග ඉල්ල ගන්න (ළමුන් තවත් ලං කරගනිමින් තවදුරටත් යම් දෙයක් රහසින් පවසයි. ඉවත් වෙමින්) ... ළමයි ඔහොම ඉන්න..රජතුමා මේ වෙලාවෙ සිරියහන් ගබඩාවෙ ඉන්නෙ... දේවින් වහන්සෙත් අසනිපෙන්නේ .... (ඈතට යමින්) මං පණිවිඩේ කියාගෙන ආපහු මුරපොළට යන්නං..... මතකයිනේ පොරොන්දුව...?
ළමයි: (මුහුණින් මුහුණ බලා ගනිමින්) හරි හරි....
(සංගීත නාදයක් අතර රජතුමා සහ දේවිය චාමර සලන්නන් දෙදෙනෙකුද සමඟ වේදිකාවේ දකුණුපසින් ඇතුළුවේ. කුමාරයා තවත් ඉදිරියට යත්ම දේවිය ඔහු හඳුනාගෙන ඉදිරියට පැමිණ තදින් වැළඳ ගනී)
දේවිය: ( කුමාරයාගේ ඇඳුම් අවධානයෙන් බලමින්) මගෙ රත්තරං කුමාරයට මොකද මේ වුනේ? (ළමුන්  ආභරණ මල්ල දේවියට දෙයි)
රජතුමා: (සතුටින් කුමාරයාගේ හිස අතගා සැනසීමක් ලැබුනු ලෙස පෙන්වා අසුන් ගෙන කුමාරයා තමා ළඟට ගනිමින්) කුමාරයා රැගෙන ආවේ මේ දරුවොද...?
ළමයි:    එහෙමයි මහ රජතුමනි...
රජතුමා:            කුමාරයා කොහෙද හිටියේ.... මොකද වුනේ....?
ළමයි: (රංගනය කරමින් ගයයි)
                        කඩු ශිල්පය
                        දුණු ශිල්පය
                        ඉතිහාසය - ගණිත කර්ම
                        නක‍්ෂත්‍රය - ජ්‍යොතිෂ්‍යය
                        අසුපිට යන විශ්ම කර්ම

                        ඇදුරුතුමන් වට කරගෙන
                        ඔළුවට දුන් වද තිස් දෙක,
                        ....එපා...වෙලා.....!

                        මාලිගාවෙ සඳළුතලෙන්
                        බිමට බැහැල හොර රහසෙම
                        කුමාරයා යන්න ගියේ
                        ඩිංගක් සෙල්ලම් කරන්න
                        කන්ද දිගේ - ලන්ද දිගේ
                        නෙක විසිතුරු රස විඳ විඳ
                        ඈත ඈත ඇවිද ගිහින් මුළා වුනේ මග නොම දැන.....

රජතුමා: (සිනාසී)  ඉතින් මාලිගාව එපාවෙච්ච කුමාරයා රැගෙන ආවේ කොහොමද?
කුමාරයා: රැගෙන ආවේ නෑ. මම මයි ආවේ...පියරජතුමයි මෑණියොයි දුකෙන් ඇති කියලා.
රජතුමා: (කුමක්දෝ කීමට සැරසුනු දේවිය නවත්වමින්) අපිනම් බෝහෝම දුකෙන් තමයි හිටියේ. කුමාරයා ගිය තැන් සිට මෑණියන් පැන් පොදක්වත් පානය කර නැහැ... සිහිසුන් වුනා දෙතුන් වතාවක්ම.
කුමාරයා: (මෑණියන්ගේ මුහුණ ආදරයෙන් අතගා රජතුමා දෙසට හැරී) එතකොට පිය රජතුමා දුක් වුනේ නැද්ද?
රජතුමා: මොකද නැත්තෙ...ඒත් මං රටේ රජ්ජුරුවොනෙ...(කුමාරයාට අවවාද ලෙස කියමින්) දුක මැඬගෙන දිරියෙන් වැඩ කරන්න ඕනෙ රජ කෙනෙක් වුනාම...(ළමයින් දෙසට හැරී) ඉතින් මේ සතුටු මොහොත් රාජ පොරොන්දුවක් තියෙනව ඉෂ්ඨ කරන්න...ඔය දරුවො ඉල්ලන ඕනෑම තෑග්ගක්....!
(කුමාරයා ළමයින් අතරට දිව යයි. ළමයින් වටකරගෙන රහසේ මුමුණයි, ළමයින් කුමාරයාගේ අදහස ප්‍රතික්ෂේප කරන බවක් පෙන්වයි, ටිකිරා ඉදිරිපත්වෙයි)
ටිකිරා: අපි ඉල්ලන ඕනෙ දෙයක් දෙනවා නේද?
රජතුමා: ඒක රාජ පොරොන්දුවක්...!
ටිකිරා: එහෙනම් මහරජතුමනි තෑග්ග හැටියට අපිට දෙන්න කස පහර සීයක්... ඔබේ ශක්තිමත්ම වධකයගෙන්...!
රජතුමා: (පුදුමයෙන්) මොනවා කස පහර සීයක්?
කුමාරයා: මේකනේ පියරජතුමනි, දොරටුපාලකය මේ ගොල්ලන්ව භය කරල තෑග්ග එයාට දෙන්න කියල පොරොන්දු කර ගත්ත.
ටිකිරා: එසේය මහරජතුමනි, අපි කැමතියි අපේ ඒ තෑග්ග දොරටුපාලකයාට භාර දෙන්න.
රජතුමා: (මහ හඬින් සිනා සෙමින්) අගෙයි. ඉතා අගෙයි....(තව දුරටත් සිනාසෙමින්) මං ඒ තෑග්ග ලෑස්ති කරන්නම්... තැනට සුදුසු නුවණ තියෙන මේ වගෙ ළමයි මගේ රාජ්‍ය යේ ඉන්න එක මොනතරම් දෙයක්ද? (දේවියට) බලන්න දේවිය, අපේ පුත්කුමරයාට වගේ මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා නම් කවදහරි මේ රාජ්‍යයට කොතරම් වැඩදායක වෙනවද? අන්න ඒවගේ තෑග්ගක් තමයි අපි අපේ දරුවන්ට දෙන්න ඕනෙ.... මෙහෙ එන්න දරුවො.... ඕගොල්ලො කැමතිද ඉගෙන ගන්න? කුමාරය වගේ නොයෙක් ශිල්ප ශාස්ත්‍ර..?
ළමයි: අපි කැමතියි...අපි හරිම කැමතියි...
රජතුමා: ඒක තමයි... මං මේ දරුවොන්ගෙ ගම්මැද්දට තක්ෂලාවක් ...ඒ කියන්නෙ පාසලක් තනා ‍දෙන්නම්....හැමදාම පාසල් ගිහින් ගුරුන් -දෙගුරුන් අවවාද අනුසාසනා පිළිගෙන බොහෝම හොඳින් ඉගෙනගෙන මේ රට දියුණු කරන්න උදවු වෙන්න ඕනෙ.....! (කුමාරයාට) පුත් කුමාරයත් හොඳට ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්නත් වෙලාවක් ලබා දෙන්නම්කෝ..

(ළමයි ඉතා සතුටින් හැසිරෙයි, නටමින් ගයයි)

දෙගුරුන් පායුග වැඳලා
දම් පිළිවෙත් සිහි කරලා
කිරිසුදු පිරිසිදු  ඇඳුමින් සැරසී
පාසල් යමු ලොල් වඩලා....

ගුරු උතුමන් ගරු කරලා
අකුරු කරමු දිරි වඩලා
අනාගතේ ලොව ගොඩනංවන්නට
ශිල්ප සදමු රොද බැඳලා

රුං දං තරිකිට කුං දං තරිකිට තා
තකදොං තරිකිට ජිකදොං තරිකිට තා
වන්නම් නැටුමට සන්නම් බෙරපද දා.....
            (එම තාලයටම බෙර පද වැයේ)
නැටුම් ගැයුම් හැඩ කරලා
කුසලතාව ඔප දමලා
අනාගතේ ලොව ගොඩනංවන්නට
සමඟිව යමු පියමැන ලා
            (රජුද දේවියද ළමයින් මැද්දට පැමිණ ඔවුන්ගේ හිස අතගා ආශිර්වාද කරමින් සියලු දෙනා වේදිකාව ඉදිරියට පැමිණ ආචාර කොට නික්ම යති)
සමඟිව යමු පියමැන ලා
සමඟිව යමු පියමැන ලා

.............තිරය වැසේ......

1 comment: