Tuesday, December 25, 2001

සඳේ

සඳේ නැගී වළා පෙලේ
ඇගෙ කුටියට හෙමින් එබී
සැතපෙන ඈ සවන් අගට
කියන්න කොඳුරා ....
ආදරෙයි මා ආදරෙයි 

මුවට නැගෙන සිනා පොදක්
සුව සිහිනෙක මිහිර කියයි
සඳ කැල්මෙන් ඈ නින්දෙන්
මුදන්නට එපා ...
ඈ උවනට නුඹ පරදියි
කෝල වෙලා නෝක්කාඩු
කියන්නට එපා ...

ඇගෙ සුසුමක රැඳි උණුසුම
මා දෙනෙතට පමණි උරුම
සෙමෙන් සැලෙන සුමුදු හසුන්
බලන්නට එපා ...
ඈ සුවඳින් මන් මත් වෙයි
කවුළුව ළඟ බොහෝ වෙලා
රැඳෙන්නට එපා ...


Sunday, November 25, 2001

නුහුරු වදනක් වූවද

පාර කෙළවරින්
රුව පෙනෙනා තුරු
දොරකඩ හිඳගෙන බලා සිටින්නෙමි
බෝල ලොසින්ජර නැතුවට කම් නෑ
ගෙදර එනවනම්
ඔබ ආයේ .....

දිවට නුහුරු වදනක් වූවද ඔබ
හිතට පුරුදු සුවඳයි
ඔබේ ගෙලේ එල්ලී පෙර කල සේ
ඒ සුවඳේ කිමිදෙන්න හිතයි .....

හිසට සෙවණ සිසිලස අමතක නෑ
අතැර ගියත් පෙරදා
නිවසේ දොරටුව
ඔබ හට වැසුනද
මගෙ හද ඔබ වෙනුවෙන් ඇරිලා ....

Tuesday, September 25, 2001

සැමරුම් කැටිකොට

නුඹෙන් තිලිණ ලද
සැමරුම් කැටි කොට
දෑස දෑල නැගි කඳුළු වැලින්
මල් පොකුරක් ගෙන
සමුගෙන යනු මැන
ලබැඳි
එකම එක සිනාවකින්.............


නොබිදෙන මිතුදම්
සුවඳ විජිතයේ
එකාවන් ව ඉන්නට එක්වී
දෑත විදා තුරුලට කැන්දාගෙන
පිය තෙපුලින් හද
සෙනෙහස පෑ .........


නැගෙන වාරු දුන්
අත්වැල සිඳ දා
එකෙකු නැගෙන තවකෙකු පාගා
මරු වැල් පාදන
කුහක ලෝකයක
එක මව් කුස සිටි
සෙනෙහස පෑ ............

Saturday, September 22, 2001

ආවාහ විවාහ සම්බන්ධ බුදු දහමේ සංකල්ප හා උපදේශ

ආවාහ විවාහ සම්බන්ධ බාධක
ආවාහ යනු පති කුලයට පතිනියක ගෙන ඒම යි. විවාහ යනු පතිනිය පතිකුලයට දීම යි. දරුවන් නිසි වියට පත්වූ විට ආවාහ විවාහ කරදීම මවුපියන් සතු යුතුකමෙකි. මෙහිදී සුදුසු කාලය ඉතා වැදගත් ය. ඇතැම්විට මවුපියන් කැමති ව සිටිය දී දරුවන් අකමැති වීම නිසාත් දරුවන් කැමතිව සිටිය දී මවුපියන් අකමැතිවීම නිසාත් සමහර දරුවන්ගේ කාලය නොදැනුවත්ව ම ඉක්ම යයි. දේපොල, දැන උගත්කම්, ලස්සන, කුලය. පොරොන්දම් ආදී බොහෝ දෑ හේතුකොට ගෙන කැමැත්ත අකමැත්ත තීරණය කිරීම නිසා කාලය පිළිබඳ ගැටළුවට බොහෝදුරට මුහුණ පෑමට සිදුවෙයි. මෙම බාහිර හේතූන්ට වඩා ආවාහ විවාහවන අයගේ චරිතය අදහස් කොතෙක් දුරට යහපත් ද අයහපත් ද යන්න විමසා බැලීම ඉතා වැදගත් ය. ඇතැම් විට කුල ගර්වය රැුක ගැනීමට ගොස් නොගැලපෙන විවාහයක් සිදු කොට ගෙන පසුව නොයෙක් අර්බුදයන්ට විවාහක යුවල මුහුණ පාති. ඇතැම් විට පිට රූපයට ආසාවෙන් පමණක් සිදු කෙරෙන ආවාහ විවාහයන් ද අසාර්ථක වේ. දේපළට තෘෂ්ණාවෙන් සිදුවන ආවාහ විවාහවලදී ද බොහෝ දුරට එම තත්ත්වය එසේ ම ය.
විශේෂයෙන් විවාහ ජීවිතයට පිවිසෙන දෙදෙනාට දෙදෙනා පිළිබඳ අන්‍යොන්‍ය අවබෝධයත් මූලික වශයෙන් තිබීම අවශ්‍ය වේ. කුලය නිසාවත් ධනය නිසාවත් දුටු පමණින් මනා රූසපුවෙන් සහ කඩවසම් පෙනුමකින් යුතු නිසාවත් ඔහු හෝ ඇය මගේ සහකරු හා සහකාරිය විය යුතු යැයි තීරණය කොට ඉක්මන් තීරණ ගැනීම ද නුසුදුසු ය. විවාහ ජීවිතය යනු එක් දවසක් දෙකක් ගත කොට අවසන් වන්නක් නොවේ. මුළු ජීවිත කාලය තුළ ම විවාහක යුවල ඔවුන්නොවුන් පෑහී වාසය කළ යුතු ය. එබැවින් ආවාහ විවාහ වීමට ගනු ලබන තීරණය හදිසි තීරණයක් නොව මැනවින් සිතා බලා විමසා අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතු ව සිදු කරගත යුත්තකි. එකවරක් දෙවරක් නොව අනේක වාරයක් මැනවින් කල්පනා කොට සිතා බලා විමසා එකී තීරණය ගත යුතු ය. පහ වූ යොවුන් බව ඇත්තකු තරුණියක විවාහ කර ගතහොත් ඈ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ස්වාමියා පසුවන බව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ එය පිරිහීමට හේතුවක් ලෙස පහදා දී ඇත.
ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති කෘතී‍්‍රම ව සකසන සත්ත්වයන්ගේ මාංස සහ අනෙකුත් ආහාර අනුභව කිරීම හේතුවෙන් ඉක්මනට වැඩිවියට පත්වන දැරියන් කාම රාගයෙන් මූර්ýතව ඇතැම් විට තමන්ගේ වයස් සීමාවන්නට වඩා විශාල පරතරයක් ඇති නොගැලපෙන පිරිමින් සමග හාදකම් පවත්වා ඉදිරි අනාගතය අඳුරු කර ගනිති. බාල වයස්කාරයන් විවාහ කර ගැනීම තහනම් වූවත් ඒ සඳහා අනියම් විදි බොහෝ සේ තිබෙති. එවිට සිදුවිය යුත්ත සිදුවී හමාර නිසා ඒ පිළිබඳ කලින් සිතා නිගමන ගැනීම ඉතා වැදගත් ය. ඇතැම් විට පාසල් යන වියෙහි යෞවනත්වයේ මූලික අවස්ථාවේ පසුවන දියණිවරු කාමාග්නියෙන් දැවෙන සල්ලාලයන්ට රැුවටී තම අධ්‍යාපනය ද කඩාකප්පල් කර ගන්නා අතර අනාගත හොඳ විවාහයකට තිබෙන අවස්ථාව ද අහිමිකර ගනිති. එබැවින් ඉගෙනීම් කරන අවධියේ දී ඒ පිළිබඳ වෙහෙසීම පිරිමි කාන්තා දෙපක්‍ෂයට ම අනතුරුදායක ය. සිසු කාලයේ ඉගෙන ගත යුතු ය. පරස්තාවකට කලින් රස්සාවක් ගැන සිතීමත් ගැහැණියකු ගන්නට කලින් හොඳ පිරිමියකු විය යුතු බවත් ප‍්‍රචලිත කියමන් ය. ඒ පිළිබඳව ද සිතා බැලිය යුතු ය.
ආවාහ විවාහයන්හි දී වස්තු සාම්‍යත්වය පිළිබඳ ව යම් සැලකිල්ලක් දැක්වීම පී‍්‍රතිමත් විවාහ ජීවිතයකට මග පාදයි. ඇතැම් පවුල්වල පිරිමියා ගැහැණිය ලෙසත් ගැහැණිය පිරිමියා ලෙසත් කටයුතු කරන අවස්ථා ඇත. ඊට ප‍්‍රධාන හේතුවක් දෙපක්‍ෂයෙහි වස්තු අසාදෘශ්‍ය ය. පිරිමියාට වඩා ධනවත් බවින් ගැහැණියගේ පාර්ශවය යුක්ත වුවහොත් ඒ බලය මත පිහිටා ආඩම්බරව ඇතැම්විට ස්වාමියා පීඩනයට ලක් කරන කාන්තා චරිත ඇත. ස්වාමියාගේ පාර්ශ්වය වඩාත් ධනවත් වන විට ද එය එසේ ම සිදුවීමට ඉඩ කඩ තිබේ. එබැවින් වස්තු සාදෘශ්‍ය ද යම් තරමකට ආවාහ විවාහයේ දී වැදගත් වේ. අද යුගයෙහි පුරුෂයාත් ස්ත‍්‍රියත් බොහෝ දුරට රැුකියා නියුක්තිකයෝ ය. එහි දී දෙදෙනා එකම වෘත්තියෙහි නොයෙදුනත් වෘත්තියෙහි ඉපයීම් අංශය සමානත්වයක පැවැත්ම ද යම්තාක් දුරට වෛවාහක ජීවිතයෙහිලා වැදගත් වේ.
යථෝක්ත සාධක කෙතරම් සම්පූර්ණ ව පැවතියත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් විශ්වාසයෙන් හා ගෞරවයෙන් කි‍්‍රයා කරනවා තරම් ඒ එකක්වත් ප‍්‍රබල වන්නේ නැත. විවාහ වීමට පෙර පේ‍්‍රමයෙන් මුසපත් වන ඇතැම්හු අප දෙදෙනා දෙදෙනකු නොව එක් අයකුම යැයි බොළඳ පේ‍්‍රමාලාප බිණුවත් විවාහ වී ටික දොහකට පසු ඒවා අමතක ව දෙන්න දෙමහල්ලන් විරසක වන අවස්ථා දැකගත හැකි ය. එබැවින් දෙදෙනා දෙදෙනෙකු මිස කිසිවිටෙක එක් අයකු නොවන බව තේරුම් ගත යුතු ය. මෙහිලා ගැඹුරින් සිතා බැලිය යුතු යමක් තිබේ. දෙදෙනා එක් අයකු වීම තුළ ගැටුම් රැුසක් නිර්මාණය වේ. ඒ මක් නිසා ද ස්වාමියා සිතනුයේ තමා සිතන පතන කි‍්‍රයාකරන ආකාරයට ම සහකාරිය ද පැවතිය යුතු බවත් බිරිඳ කල්පනා කරන්නේ තමා සිතන පතන කි‍්‍රයා කරන ආකාරයට සහකරු පැවතිය යුතු බවත් ය. එහෙත් පුද්ගල වේමත්තතාව මත බොහෝ දුරට අංග සම්පූර්ණ ව එසේ වන්නේ නැත. දෙදෙනා එක් අයකු යැයි සිතා කි‍්‍රයා කිරීමෙන් ඔවුනොවුන්ට පරස්පර අදහස් සිතුම් පැතුම් හා කි‍්‍රයාවන් දෙදෙනා අතින් සිදුවන විට දෙපාර්ශ්වය අතර අඬදබර ඇතිවිය හැකි ය. විය යුත්තේ එය නොවේ. දෙදෙනා කිසිවිටෙක එක් අයකු නොවන බවත් දෙදෙනාගේ නානත්ව සංඥාවන් දෙපාර්ශ්වය විසින් ම මැනවින් තේරුම් ගෙන ඔවුනොවුන්ට විරුද්ධ අදහස් ඉදිරිපත් වන විට දෙපක්‍ෂය ම එක්ව සාකච්ඡුා කොට දෙපක්‍ෂයෙහි ම සිත් නොරිදෙන ආකාරයෙන් නම්‍යශීලී ව කි‍්‍රයා කිරීමට දෙදෙනා ම අන්‍යොන්‍ය අවබෝධයෙන් ගෞරවයෙන් යුතු ව කි‍්‍රයා කිරීම යි.
පති කුලයට පිවිසෙන දියණිවරුන්ට විවාහ ජීවිතය සාර්ථක ව ගත කිරීම සඳහා උපදෙස් රැුසක් බෞද්ධ සාහිත්‍ය තුළ හමුවේ. ධනංජය සිටුවරයා සිය දියණිය වන විශාඛාවට විවාහයට පෙර දුන් අවවාද දහය සෑම විවාහපේක්‍ෂිත යුවතියකට ම වැදගත් ය. එම අවවාද දහය නම්,
1. ඇතුළත ගිනි පිටතට නොදෙන්න
2. පිටත ගිනි ඇතුළට නොගන්න
3. දෙන තැනැත්තාට ම දෙන්න
4. නොදෙන තැනැත්තාට නොදෙන්න
5. දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න
6. සුවසේ හිඳින්න
7. සුවසේ අනුභව කරන්න
8. සුවසේ නිදන්න
9. ගිනි දෙවියන් පුදන්න
10. ඇතුළත දෙවියන් පුදන්න
යම් ප‍්‍රහේලිකා ස්වරූපයක් දරන මෙම අවවාද දහය අලූත් නිවසක ජීවිතය අලූතින් අරඹන යුවතීන්ට මානසික සංතෘප්තියෙන් ගැටුම්වලින් තොරව පී‍්‍රතිමත් ව ජීවත්වීම සඳහා මහෝපකාරි වේ.
මෙහි පළමුවැන්නෙහි එන ඇතුළත ගිනි යනු පවුල ඇතුළත ඇති අඩුපාඩුකම් ය. කොපමණ යස ඉසුරුවලින් පිරි පවුලක වුව ද අභ්‍යන්තරයෙහි යම් යම් පුද්ගල බද්ධ වූ හෝ අඩුපාඩුකම් පවතින්නට පුළුවන. ඒවා ඇතුළත අය සමග ම සාකච්ඡුා කොට විසඳා ගත යුතු ය. බාහිර අය සමග එකී අඩුපාඩුකම් ගැන කතා කරන්නට ගියහොත් සිදුවන්නේ ඒවා සකස් වීම නොව තව තවත් උග‍්‍ර වීම යි. තමාට විසඳාගත නොහැකි යමක් ඇත්නම් ඒ පිළිබඳ ව උපදෙස් ගත යුතු සමාජයේ විශිෂ්ට තැනැත්තන්ගෙන් අවවාද අනුශාසනා ලබාගැනීම යෝග්‍ය ය. තම ගැටලූව ප‍්‍රකාශ කිරීමෙන් තවත් ගැටලූවක් ඉස්මතු නොවේ යැයි විශ්වාස කරන කල්‍යාණ උතුමකුට ම එය ප‍්‍රකාශ කළ යුතු ය. හැකිතාක් දුරට අභ්‍යන්තර ප‍්‍රශ්න ඔවුනොවුන් සඟවා ද නොගෙන පිටතට ද නොදී තුමූ ම සාකච්ඡුා කොට විසඳා ගැනීම සාර්ථක විවාහ ජීවිතයකට අතිශයින් වැදගත් ය.
පිටත ගිනි ඇතුළට නොගෙනෙන්න යනු බාහිර අය ස්වකීය සැමියා පිළිබඳ ව කියන ඕපාදූප සැමියාගේ කණේ නොතැබීම යි. ඒවා උලූප්පා දක්වමින් සැමියාට අවමන් නොකිරීම යි. තමාට ස්වාමියා පිළිබඳ යම් සාධාරණ සැකයක් ඇත්නම් ඒ පිළිබඳ සැමියා විමසා දැන ගැනීම බිරිඳකගේ යුතුකමකි. එහෙත් එක් එක්කෙනා ඇතැම් විට දෙදෙනා බිඳවීමේ පහත් අරමුණු ඇතිව නැති දේ මවා පාමින් කේළාම් කියමින් දෙදෙනා අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්නවා විය හැකි ය. එබැවින් ඉතා විමසිලිමත් ව අනුන් කියන දෑ පිළිබඳ ව කටයුතු කිරීම අවශ්‍ය ය.
දෙන තැනැත්තාට ම දෙන්න යන්නෙහි අදහස ණයක් දිය යුත්තේ ආපසු දෙන්නකුට පමණක් බව යි. මෙයින් ඉස්මතුවන තව වැදගත් කරුණක් ඇත. එනම්, ගෘහ පාලනය ගෘහණිය සතුව පවතින්නක් බව යි. ගෙදර ඓශ්වර්ය ස්වාමියා විසින් බිරිඳට භාරදීම ස්වාමියාගේ යුතුකමක් කොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. බිරිඳට ''පවුල'' යන වදනක් සිංහලයන් අතර පවතී. එහි අදහස පවුල දරා සිටින්නේ පාලනය කරන්නේ බිරිද යන්න යි. දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න යන්නෙහි අර්ථය ඥාතීන්ට කරන සංග‍්‍රහයන් ය. ඥාතියකු යමක් ගත් විට එය දුන්නත් නොදුන්නත් ඥාතිත්වය නිසා එය යුතුකමක් කොට සලකා තමන්ට ශක්‍යතාවක් ඇත්නම් එය ඉටුකර දීම යි. මෙයින් අදහස් කරන්නේ. සුවසේ හිඳින්න, අනුභව කරන්න, නිදන්න යන්නෙහි අදහස ගෘහ කළමනාකාරිණිය ලෙස ගෙදර අනෙක් අය පිළිබඳ යුතුකම් කොට්ඨාසයත් මැනවින් ඉටුකර ඇද්දැයි සුපරික්‍ෂාකාරී ව කි‍්‍රයා කිරීම යි. සුවසේ හිදීමට, අනුභව කිරීමට, නිදීමට හැක්කේ එවිට ය. ගිනි දෙවියන් පුදන්න යන්නෙහි අදහස නැන්දා, මාමා සහ ස්වාමි පුරුෂයා ගිනි සේ සලකා ගරු බුහුමන් සහිත ව ඇසුරු කරන්න යන්න යි. ස්වාමියාගේ පාර්ශ්වයේ ඥාතීන්ට සුහද සිතින් සැලකීම ඇතුළත දෙවියන් පුදන්න යන්නෙහි අදහස යි.
ඇතැම් තරුණ තරුණියන් තමන් කැමති විවාහයට මවුපියන් විරුද්ධවන අවස්ථාවල දී දැඩි අසහනකාරි තත්ත්වයට පත් වී හිතුවක්කාර ලෙස විවාහ ගිවිස ගැනිම සිදුකරති. තවත් සමහරු තමා පෙම්කරන තැනැත්තා හෝ තැනැත්තිය සමග විවාහ වීමට නොහැකි වුවහොත් දැඩි ඉච්ඡුාභංගත්වයට පත්ව ජීවිතාන්තය තෙක් අවිවාහක ව ජීවත් වීමට තීරණය කරති. අවබෝධයෙන් අනගාරික ජීවිතයක ගත කිරීමට හැකිනම් එය ඉතා විශිෂ්ට ය. එහෙත් ආශාවත් බයත් කලකිරීමත් අතර හිරවී ආතුර මනසකින් අවිවාහක ව වාසය කරන්නට ගනු ලබන තීරණය ජීවිතය හා සම්බන්ධයෙන් සුභවාදී තීරණයක් නොවේ. තමා පතන තැනැත්තා හෝ තැනැත්තිය සමග පාණිග‍්‍රහණය කිරීමට නොහැකිවන අවස්ථාවන්හිදී ඇතැම් අය සිය දිවි නසා ගැනීමට ගනු ලබන තීරණය ද අනුවණ කමකි. පි‍්‍රය වස්තූන් නිසා දුක් දොම්නස් උපායාසයන්ට පත්වීමට සිදුවන බව බුදුරජාණන් වහන්සේගේ දේශනය යි. එය මැනවින් තේරුම් ගත යුතු ය. තමා සිතන පතන දෙය ඒ අයුරින් ම සිදුවන්නටත් නොවන්නටත් හැකි බව තේරුම් ගෙන ජීවිතයට නොසැලී මුහුණ දීමේ ශක්‍යතාවක් ඇතිකර ගත යුතු ය. එසේ නොවුනහොත් තමා පි‍්‍රය කරන අයගෙන් වෙන් කරන්නට උත්සාහ දරන මවුපියන්, සහෝදර සහෝදරියන් ඥාති හිතවතුන් හෝ වෙනයම් කවරකු කෙරෙහි හෝ එදිරිවාදිකම් ඇතිකර ගෙන නොකටයුතුකම්වලට පෙළඹීමට ඉඩ තිබේ. එසේත් නැතිනම් තමාගේ ජීවිතය විනාශ කර ගැනීමත් දෙදෙනාගේ ම ජීවිත හානිකර ගැනීමත් සිදු විය හැකි ය. එවැනි සිදුවීම් නිතර නිතර අසන්නට දකින්නට ලැබේ. දුරාතීතයෙහි දි එබදු සිදුවීම් වාර්තා වේ. මේ භවයෙහි එකට ජීවත්වීමට නොලැබෙන්නේ නම් ඊළඟ භවයේ දී හෝ එකට මුණ ගැසෙමුයි යන බලවත් පේ‍්‍රමාතුර භාවයෙන් දෙදෙනා ම එකට දිවි තොර කර ගන්නා පුවත් අද ද බොහෝ සෙයින් වාර්තා වේ.
පියජාතික සූත‍්‍රයෙහි ද එබඳු වාර්තාවක් එයි. ඊළඟ භවයේ අඹුු සැමියන් ලෙස එක්වන්නට ප‍්‍රාර්ථනා ඇත්තවුන් එකට සියදිවි නසා ගැනීමෙන් එය සිදු නොවන්නකි. සිදු වුවත් එය දිව්‍ය හෝ මනුෂ්‍ය භවයක් නම් විය නොහැකි ය. එසේ යම් දෙදෙනකු ඊළඟ භවයේ දී ද අඹුසැමියන්ව වාසය කිරීමට ප‍්‍රාර්ථනා කරන්නේ නම් දෙදෙනා ම සද්ධා, සීල, චාග, පඤ්ඤා යන ගුණ හතරින් සමාන ව කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
ආවාහ විවාහයට පෙර ඇතිවන ගැටලූවලටත් වඩා බරපතල ලෙස දැනෙන්නේ විවාහයෙන් පසුව උද්ගතවන ගැටලූ ය. අන්‍යොන්‍ය අවබෝධයෙන් තොරව පාණිග‍්‍රහණය කිරීම නිසාත් ආවාහ විවාහයෙන් පසුව දෙදෙනාගේ ස්වාධීනත්වයට ඕනෑවට වඩා දෙපාර්ශ්වයෙහි ම මවුපියන් ව්‍යවහාර භාෂාවෙන්ම සඳහන් කරනවා නම් ඇඟිලි ගැසීම නිසාත් පිටස්තරයන්ගේ කටලූ කතා විශ්වාස කර අන්‍යොන්‍ය විශ්වාසය පළුදු කර ගැනීම නිසාත් නොගැලපෙන ඇසුර නිසාත් ඇතැම් විට රැුකී රක්‍ෂාදිය නිසාත් නෑදෑ අසල්වැසි ආදීන් නිසාත් යන විවිධ කරුණු හේතුකොට ගෙන පශ්චාත් වෛවාහික ගැටලූ ඉස්මතු වීමට ඉඩ තිබේ.
පශ්චාත් වෛවාහික ගැටලූ
විවාහයට පූර්වයෙන් ඉතා ලෙන්ගතු ව කටයුතු කළත් ඇතැම්හු විවාහ වී නොබෝ දිනකින් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් මැද නොහොඳ නෝක්කාඩු ඇතිකරගෙන අතෘප්තිකර ව පවුල්කන අවස්ථා ඇත. එම නිසා ම දික්කසාද නඩුවලින් ද උසාවි පිරී තිබේ. මේ තත්ත්වය බටහිර රටවල ඉතා දැඩි ව පවත්නා බව කෙරී ඇති සමාජ විද්‍යා පර්යේෂණ තුළින් සනාථ වී තිබේ. දැනට කෙරී ඇති පර්යේෂණයන්ට අනුව ඇමරිකාවෙහි විවාහවලින් 1/3 ක් දික්කසාද වී ඇත. විවාහවලින් 21% ක් කලින් එක්වරක් හෝ කීපවරක් විවාහ වූ අය ය. ඒ අනුව බටහිර විවාහ සංස්ථාව ඉතා වේගවත් ව දෙදරා ගොස් ඇති බවයි පෙනෙන්නේ. එයින් විශාල ලෙස හානි පැමිණෙන්නේ අනාගත දූ දරුවන්ට ය. දෙමාපිය විසංයෝගය නිසා දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය රැුකවරණය අහිමි දරුවන් විවිධ සමාජ විෂමාචාරයන්ට පෙළඹෙයි. මානව හිමිකම් ළමා අයිතිවාසිකම් පිළිබඳ ව ඔවුන් ලෝකයාට මොරගා ප‍්‍රකාශ කළත් ඔවුන් එකී අයිතිවාසිකම් රැුක ගන්නට හදන්නේ සමාජය තුළ සදාචාරය අන්‍යොන්‍ය ගෞරවය, පේ‍්‍රමය, විශ්වාසය ඇති කර ශක්තිමත් සමාජ ව්‍යුහයක් ගොඩනැගීමට නොව ඒ සියල්ලක් බිඳ හෙලා සමාජය තුළ පුද්ගල හුදකලාභාවය ගොඩනැගීමට බව ඒ පිළිබඳ ව ගැඹුරින් සිතන විට පැහැදිලි වේ. ලාංකේය සමාජය තුළ මේ තත්ත්වය මෙතරම් බරපතල ලෙස දක්නට නොලැබුණත් එය ඇත්තෙන් ම නැතැයි ප‍්‍රකාශ කළ නොහැකි ය. ඒ සඳහා නැඹුරුවක් ඇති වී තිබේ. බටහිර රටවල්වල තරම් එකී වෛවාහික සංස්ථාව ශ‍්‍රී ලාංකේය සමාජය තුළ දෙදරා ගොස් නැත්තේ බෞද්ධ සංස්කෘතිය තුළින් ලබන ශික්‍ෂණය නිසා බව අවිවාදයෙන් පිළිගත යුතු ය. ඒ අයිතිවාසිකම් නොව යුතුකම් මූලිකත්වයෙහිලා උගන්වන නිසා ය. එහෙත් සංකර සමාජයක් තුළ එකී බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ගිලිහෙමින් පවත්නා බව පෙනේ. ඒ පිළිබඳ ව නැවත සිතා බලන්නට අලූත් පරම්පරාවට සිදු වී තිබේ.
ස්වශක්තියෙන් නැගී සිටීමට ආත්ම ශක්තියක් නොමැතිකම නිසා හෝ වෙනත් හේතූන් මත නිසා හෝ විවාහයෙන් පසුව දරුමල්ලන් ද ලබා ඇතැම්හු විදේශ රැුකියා සඳහා පිටත්ව යති. ආර්ථික බෙලහීනතාව ජීවිතය හා සම්බන්ධයෙන් විශාල ගැටලූවක් වූවත් ඊට පිළිසරණක් අපේක්‍ෂාවෙන් විදෙස් රැුකියා සඳහා පිටත්ව යෑමෙන් පවුල් සංස්ථාව හා සම්බන්ධ ගැටලූ රාශියක් ඒ මගින් ඉස්මතු වේ. විවාහක යුවලෙන් කවුරු විදෙස්ගත වුවත් එකී බාධකයන්ට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් දූවරුන් ලබා සිටින මවුවරු විදේශගත වීමේ දී ඇතැම්විට තම ආරක්‍ෂකයා වශයෙන් සිටින පියා නිසා ම විවිධ අතවරයන්ට ලක්වීමට ඒ දියණියන්ට සිදු වූ අවස්ථා වාර්තා වේ. විශාල බලාපොරොත්තු සමුදායක් පොදි බැඳගෙන විදෙස්ගත වුවත් ඇතැම්විට තමා විදේශයන්හි දී උපයා එවන ධනය ස්වාමියා විවිධ දුසිරිත් දුරාචාරයන්ට යොදවා තමා සිටි තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයකට පත්වන්නට සිදුවන අවස්ථා ද තිබේ. එසේ ම අනියම් සම්බන්ධතා ගොඩ නගා ගන්නා ස්වාමියන් නිසා විදෙස්ගතවන කාන්තාවට විවිධ කම්කටොලූවලට මුහුණ පෑමට සිදු වේ. බිරිඳ සිටිය දී ස්වාමියා විදෙස් ගත වීමෙන් ද බොහෝ දුරට ඉහත කී ගැටලූ සමාන ය. විශේෂයෙන් ම දූ දරුවන්, බිරිඳ වස්තුව දේපොල සම්බන්ධයෙන් දැඩි අනාරක්‍ෂිත බවක් එහිදී උද්ගත වේ. එහි අදහස වන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා ස්වාමි-භාර්යා දෙදෙනාගේ සමීප සම්බන්ධය අත්‍යවශ්‍ය බව ය. වස්තුව දේපොල කුමක් වුවත් අනාගත පරම්පරාව නිවැරදි මාවතකට යොමු කිරීමට මවුපිය දෙපල දැඩි උවමනාවක් ඇතිකර ගත යුතු ය. දරුවන්ගේ අනාගතය සැකසීමට යැයි සිතා බොහෝ දෙනෙක් විදේශගත වුවත් අවසාන ප‍්‍රතිඵලය ඇතැම් විට ඊට හාත්පසින් වෙනස් වූවකි. මවු පිය ආදරය රැුකවරණය ලැබිය යුතු කාලයෙහි දරුවන්ට අවශ්‍යයෙන් ම ඒ ආදරය රැුකවරණය නොවඩුව ලබා දිය යුතු ය. එසේ නොවුනහොත් දරුවන් අයාලේ ගොස් අනාගත ජීවිතය අඳුරු කර ගනු ඇත. එබැවින් යහපත් දරු සම්පතක් අපේක්‍ෂා කරන යුවතිපතීන් මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. ඇතැම්විට විවාහ වීමට පෙර විදෙස් ගතවන තරුණියන් නැවත ලංකාවට පැමිණෙන්නේ පියවරු නැති දරුවන් සමඟ ය. එවිට ඈට අත්වන කලදසාව කුමක් ද ? දරුවන්ගේ අනාගතයට කුමක් වේද ?
නැන්දම්මා හා ලේලිය පිළිබඳ ගැටුම ද විවාහ ජීවිතයේ බහුල ව දක්නට ලැබෙන්නකි. පරම්පරා ගැටුමෙහි ම එක් අවස්ථාවකි එය. එම ගැටුම ඒ දෙදෙනා අතර ඇති වී ඒ දෙදෙනා තුළින් ම කෙළවර වන්නේ නැත. එය ප‍්‍රධාන වශයෙන් ස්වාමියාට බලපායි. එහි දී ස්වාමියා දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු වේ. ඔහු මව නිවැරදි යැයි දුටුවත් බිරිඳ නිසාත් බිරිඳ නිවැරදි යැයි දුටුවත් මව නිසාත් ගිල ගත ද වමාරගත ද නොහැකි තත්ත්වයට පත් වේ. ඇතැම් විට බිරිඳගේ කීම් අසා මවුපියන් සමඟ ඇයි හොඳයිකම් නැති කර ගන්නා පුතුන් ද ඇතැම්විට මවුපියන්ගේ කීම් අසා ඔවුන්ගේ පැත්ත ගෙන බිරිඳට නොයෙක් හිරිහැර තාඩන පීඩන කරන පුතුන් ද දක්නට ලැබේ. පරම්පරා දෙකක් එකතැන විසීම තුළින් යම් යම් ගැටලූ ඉස්මතු වීම ස්වභාවික ය. එහෙත් ඒවා දුරදිග ගෙන යන්නේ නැතිව අන්‍යෙන්‍ය අවබෝධයෙන් යුතු ව ඒවා විසඳා ගත යුතු ය. එබඳු ගැටලූ ඉස්මතුවන බව දැන ගෙන සිහි කල්පනාවෙන් අන්‍යොන්‍ය ගෞරවයෙන් යුතු ව ක‍්‍රියා කළ යුතු ය.
විවාහක යුවලක් ලෙස ගෘහස්ථ බන්ධනයෙන් බැදුණු විට පැමිණෙන අභියෝගයන්ට සාර්ථක ව මුහුණපාමින් ප‍්‍රීතිමත් ව ඔවුනොවුන් ඉක්මවා නොගොස් ක‍්‍රියා කිරීමට දෙදෙනා ම කටයුතු කළ යුතු ය. විශේෂයෙන් ම දෙදෙනා ම තම චරිතය හොඳින් ආරක්‍ෂා කර ගත යුතු ය. යම් හෙයකින් දෙදෙනා අතර අවිශ්වාසයක් ඉස්මතු වුවහොත් කවර සම්පත් පැවතියත් ප‍්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ නොහැකි ය. යුවතිපතීන්ගේ ගැළපීම් අනුව වර්ග හතරක් බුදු දහම පෙන්වා දී ඇත.
1. මළ මිනියක් මළ මිනියක් හා විසීම
2. මළ මිනියක් දෙව්දුවක හා විසීම
3. දේව පුත‍්‍රයකු දෙව් දුවක හා විසීම
4. දේව පුත‍්‍රයකු මළමිනියක හා විසීම
මෙහි දේව යන්නෙන් සංකේතවත් කරන්නේ සදාචාර සම්පන්න ගති ඇති ශීක්‍ෂිත පුද්ගලයන් ය. මළ මිනිය යන්නෙන් අර්ථවත් වන්නේ පහත්, උදාසීන චරිත ඇත්තවුන් ය. එයින් වඩාත් සමාන ව උද්යෝ්ගයෙන් අන්‍යෙන්‍ය අවබෝධයෙන් විශ්වාසයෙන් මනා චරිතවත්භාවයෙන් ආචාරශීලී ව කටයුතු කරන නිසා දෙදෙනාට ම ප‍්‍රීතිමත් ව ජීවත් විය හැකි ය. බිරිඳ ස්වාමි පුරුෂයා කෙරෙහි පිළිපදින ආකාරය අනුව සත් වර්ගීකරණයක් ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.
1. වධක සම (වධකයකු වැනි)
2. චොරි සම (හෙරක් වැනි)
3. අය්‍ය සම (අධිපතිනියක වැනි)
4. මාතු සම (මවක වැනි)
5. භගිනි සම (සොහොයුරියක වැනි)
6. සඛී සම (මිතුරියක වැනි)
7. දාසි සම (දාසියක වැනි)
යම් බිරිඳක් ප‍්‍රදූෂ්‍ය සිත් ඇත්තී ද (පදුට්ඨි චිත්තා) හිතානුකම්පා නැත්තී ද (අහිතානුකම්පී) පරපුරුෂයන් කෙරෙහි ඇලූනී ද (අඤ්ඤේසුරත්ත) ස්වකීය සැමියා ඉක්මවා සිතා ද ( අති මඤ්ඤතෙ පතිං) වධ කිරීමට උත්සුක වේ ද (වධාය උස්සුකා) ඈ වධක සම බිරිඳ නම් වේ. සැමියා උපයන ධනයෙන් ස්වල්පයක් හෝ පැහැරගනු කැමති බිරිඳ (අප්පංපි අපහාතු මිච්ඡුති) චොරිසම නම් වේ. යම් භාර්යාවක් කටයුතු කිරීමට නොකැමති ද (අකම්මකාමා) අලස ද (අලස) හිතෙන හිතෙන දෑ බොහෝ කොට අනුභව කරනු කැමැත්තේ ද (මහග්ඝසා) රළු වූයේ ද (ඵරුසා) චණ්ඩ වූයේ ද (චණ්ඩා) නපුරු වචන කතා කරන්නී ද (දුරුත්තවාදිනී) පුරුෂයා මැඩගෙන සිටින්නී ද (අභිභූය්‍ය වත්තතී) ඕ අය්‍යසම බිරිඳ නම් වේ. යම් භාර්යාවක් සැමවිට හිතානුකම්පා ඇත්තී ද (හිතානුකම්පී) මවක් පුතකු රක්නා සේ ස්වාමියා ආදරයෙන් රැුකබලා ගන්නේ ද (මාතාව පුත්තං අනුරක්ඛතෙ පතිං) එසේ ම ස්වාමියා උපයන ධනය අවශ්‍ය දෑට පමණක් යොදවමින් ආරක්‍ෂා කර ගන්නී ද (කතො ධනං සම්භතමස්ස රක්ඛෙතී) ඈ මාතා සම හෙවත් මාතු භරියා නම් වේ. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කණිෂ්ඨ සොහොයුරිය යම් සේ පවතී ද එසේ ම ස්වකීය සැමියා කෙරෙහි ගෞරවයෙන් යුක්ත වූ (යථාපි ජෙවාඨා භගිනී කනිට්ඨා - සගාරවො හොති සකම්හි සාමිකෙ) ලජ්ජා සිත් ඇති (හිරිමනා) ස්වාමියා වසෙ`ගහි පවත්නා වූ (භත්තුවසානුවත්තිනී) යම් භාර්යාවක වේ ද ඕ භගිනි සම භරියා නම් වේ. යම් බිරිඳක් බොහෝ කලකින් පැමිණෙන මිතුරකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය ස්වාමියා දැක ප‍්‍රමුදිත වන්නී නම් (යාචීධ දිස්වාන පතිං පමොදති) කුලසිරිත් අනුගමනය කරන්නී නම් (කොලෙය්‍යකා) සිල්වත් වන්නී නම් (සීලවතී) පතිව‍්‍රතා ඇත්තී නම් (පතිබ්බතා) ඇය සකී භරියා නම් වේ. ස්වාමියා කිපී තර්ජනය කරන කල්හි ද නොකිපී (අක්කූද්ධසන්තා) දුෂ්ට සිත් නැතිව (අදුට්ඨචිත්තා) ස්වාමියා කමා කරන (පතිනො තිතික්ඛතී) නොකිපෙන සුලූ (අක්කොධනා) ස්වාමියාගේ වසඟයෙහි පවතින (භක්තුවසානුවත්තනී) යම් භාර්යාවක් වේ ද ඕ දාසි නම් වේ. මෙම භාර්යාවරුන්ගෙන් මුල් තිදෙනා ඉතා අයෝග්‍ය බවත් අනෙක් සිවු දෙනා යෝග්‍ය බවත් සැලකිය යුතු ය.
බිරිඳත් ස්වාමියාත් දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි ඉටු කළයුතු යුතුකම් කොට්ඨාසයක් ද පවතී. තම තමන්ගේ යුතුකම් මැනවින් හඳුනාගෙන ඉටුකරන විට ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලූවක් ඉස්මතු වන්නේ නැත. ස්වාමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම් පහක් ද බිරිඳ විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම් පහක් ද දක්වා තිබේ. ස්වාමියා විසින් ස්වකීය බිරිඳට ඉටුකළ යුතු යුතුකම් පහනම්,
1. ගෞරවාන්විත ව ක‍්‍රියා කිරීමෙන් (සම්මානනාය)
2. අවමන් නොකිරීමෙන් (අනවමානනාය)
3. දුසිරිතෙහි නොයෙදීමෙන් (අනතිචරියාය)
4. සම්පත් පවරා දීමෙන් (ඉස්සරිය වොස්සග්ගෙන)
5. ඇඳුම් පැළඳුම් ආදිය ලබාදීමෙන් (අලංකාරානුප්පාදානෙන)
මෙසේ ආදරයෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන් යුතුව බිරිඳ කෙරෙහි ස්වාමියා ක‍්‍රියාකරන විට බිරිඳ ද පහත සඳහන් යුතුකම් පහ ස්වාමියාට ඉටු කළ යුතු ය.
1. නිවසේ කටයුතු මනාව සැලසුමකින් යුතු ව සිදු කිරීමෙන් (සුසංවිහිත කම්මන්තා)
2. පරිවාර ජනයාට මනාව සංග‍්‍රහ කිරීමෙන් (සුසංගහිත පරිජනා)
3. දුසිරිතෙහි නොයෙදීමෙන් (අනතිචාරිනී)
4. ස්වාමියා රැස්කරන දෙය ආරක්‍ෂා කිරීමෙන් (සම්භතං අනුරක්ඛති)
5. සියලූ කටයුතුවල අනලස් ව දක්‍ෂ ව යෙදීම (දක්ඛාච හොති අනලසා සබ්බකිච්චෙසු)
මෙසේ පූර්ව හා පශ්චාත් වෛවාහික බාධක ජය ගැනීමට සඳහා ඉතා හොඳ සිහි බුද්ධියෙන් යුතු ව අන්‍යොන්‍ය ගෞරවය ආදරය විශ්වාසය ඇතිව ඔවුනොවුන්ගේ යුතුකම් ද නිසියාකාරව ඉටු කරමින් අකම්පව අකෝප්‍යව ක‍්‍රියා කළ යුතු බව සෑම තරුණ දූදරුවකු ම මනා අවබෝධයක් ලබා ගත යුතු ය.

------ ආලංකුලමේ පේමසිරි හා මහමිතව පඤ්ඤාරතන හිමිවරුන්ගේ  අභිමානවත් තාරුණ්‍යය ග්‍රන්ථය ඇසුරිනි ---

Monday, August 20, 2001

නූතන ගෲෂාවන්ගේ ශෝකාලාපය

යුධ භටය යනු යුධයට
රකින්නට සිහසුන රට
සෙනෙහෙ උරතල සිහිකොට
දැවෙයි ගිනිගෙන සිත යට ....


රුපු රුහිරු රත් තෙමුණු අසිපත
දොවා පැන් කොට නිවා දොළදුක
හෙට වදන රජ නිවට පුතුහට
ආයු බල තෙද වරුණ සදනට
යුධ භටය යනු යුධයට ....


යුධ භටය යනු යුධයට
ලෙයින් සවුදිය පුරනට
සිංහ හම් කැණහිලූනට
හෙටට කඹුරන දුදනට ....


මැති ඇමති කථිකා රහස් කොට
සිඳින්නට හැදුවොත් කුමරු ගෙල
ම’පුතු බිලිදී කුමරු වෙනුවට
බියක් නොමවන් රකිමි යුතුකම
යුධ භටය යනු යුධයට ....


යුධ භටය යනු යුධයට
පුදන්නට දිවි කිරුළට
පියෙකු ඇයි මා පුතුහට
කුමට හිමියෙකු ගෙදරට ....

Friday, June 8, 2001

(නො)නික්මන

නේරංජන දියරැළි මත
බිඳී යයි ඇසල පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනී....
මම කොහොම මිදී එන්නද ගිහිගෙයට නොපැරදී....
සියක් පෙරනිමිති දැක ඉපදෙමින් මැරි මැරී..
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී......

කන්ථක ද විකුට මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට ශිල්ප දක්වනා..
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා.......

ගමපුරා හැදුනු නිබ්බුත
අසා කලකිරී තැවෙමින
භාවනා වඩා මගඵල ලබන්නට බැරී
කැණිමඩළට උර දෙමි නික්මන් සුවය හිමිනැතී.......

Sunday, March 25, 2001

සිටුකුමරුනේ

උතුරු එළිය නොව මේ දිලෙන්නේ
ගිනිගත් රණ දෙරණයි
මධු බඳුන් ගැටෙන හඬ නොවේ ඇසෙන්නේ
අවි ගැටෙනා හඬයි
කුමරුනේ .... සිටුකුමරුනේ ....

ළඳක නුරා මත් කෙඳිරිලි සයනේ
රතිකෙළි නවතා
සඳළුතලේ කවුළුව හැර බලමැන
වාහල්කඩ මළ කඳන් ගැහෙද්දී
උණු රුහිරෙන් දිය අගල් පිරෙනවා

නේක උයන් කෙළි නැටුම් ගැයුම් මැද
කොක්සන් නවතා
පවුරෙන් පිට පැල්පතට සවන් දෙනු
සුරුවිරු දරුවෙකු බිහිකළ පාපෙට
දුගීමවක් සෝ සුසුම් හෙලනවා