Tuesday, June 24, 2014

දත් 32 - (John Collier ගේ Another American Tragedy කෙටිකතාව ඇසුරින් )

පළමු දර්ශනය
ප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙකුගේ කාමරයක දර්ශනයක්. දන්ත වෛද්‍යවරයා ඊලඟ රෝගියා කැඳවයි, තරුණයෙක් පැමිණ දත් පුටුවේ හිඳගත් වහාම දන්ත වෛද්‍යවරයා ඔහු අසලට තම පුටුව ඇදගනී.
දන්ත වෛද්‍යවරයා: කෝ බලමු! (මේසය මත වූ මුඛය පරීක්ෂා කරන කුඩා රවුම් කණ්ණාඩියක් අතට ගෙන දත් පරීක්ෂා කිරීමට සැරසේ)
තරුණයා:  ඕක උවමනා නෑ. දොස්තර මහත්තයෝ , මගේ දත් ටික සේරම ගලවලා දාන්න.
දන්ත වෛද්‍යවරයා: (තරුණයාගේ විහිලුවට මද සිනාපාමින්) ඒ වුනාට,  මට නම් පේන්නෙ ඔබේ දත්  ඉතාම නිරෝගී ශක්තිමත් ඒවා..
තරුණයා:   (දත් පුටුවෙන් හිස ඔසවමින්) ඒ වගේම තමයි මගේ සල්ලිත්, සල්ලි ඕනෙ නම් ගලවන්න මගේ දත්.... විහිලුවකට නෙමේ... මම මේ කියන්නෙ ඇත්තටම. සේරම ගලවලා දාන්න.
දන්ත වෛද්‍යවරයා: (මඳක් පසුබට වෙමින්)  ඒ වුණත්, දිරා ගිහින් නැති, නීරෝගි මේ වගේ දත් නිකරුණේ ගලවා දමන එක අපේ සාරධර්ම වලට විරුද්ධයි.
තරුණයා:    සාරධර්ම?(කල්පනා කරමින්) සාර - ධර්ම (මහ හඬින් සිනාසී සිනාව නවතා සාක්කුවෙන් මුදල් නෝට්ටු මිටියක් එළියට ගනී. )
දන්ත වෛද්‍යවරයා: (මුදල් දෙස නොබලා ) මේ වගේ හොඳ ශක්තිමත් දත් ටිකක් ගලවලා අයින් කරන්න කියනවානම් ඉස්සෙල්ලම වෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙයි. මොළේ... නෑ මං කියන්නෙ මේ හිතේ අමාරුවක් වෙන්න ඇති... මං පොඩි සොයා ගැනීමක් කරල තියෙනවා,....දතේ අමාරු වැඩි වෙන්නෙ හිතේ අමාරු වැඩිවෙන කොට...විශේෂයෙන්ම උඩු ඇන්දේ මේ ඥාණ දතේ..
තරුණයා: ..ඔය කතා කළා ඇති.. මගේ දත් ටික ඔක්කොම ගලවලා දානවද නැද්ද?
දන්ත වෛද්‍යවරයා: (කිසිත් නොකියා දෙවුර සලා වැඩ අරඹයි..දත් තිස් දෙකම ගලවා ඉවත් කල සැනින් දත් ගැලවූ අඬුවෙන්ම තරුණයා අතේ තිබූ මුදල් මිටිය ඩැහැගනී.) ඔන්න ඉවරයි
තරුණයා:   ම්ම්... (කට වසාගෙනම , ගොලුබසින් කැඩපතක් ඉල්ලාගෙන බලා ලොඹු කටින්) දැන් හොඳයි...මට තව එක දෙයක් කරගන්න ඕනේ... මට කෘතිම දත් කුට්ටමක් හදල දෙන්න කොච්චර දවසක් යයිද?
දන්ත වෛද්‍යවරයා: (විශ්මයට පත්වෙමින්) දවස් තුන හතරක්...?
තරුණයා:   හොඳයි එහෙනම් අදම  ඒකට මිනුම ගන්න...(සාක්කු සියල්ල පිරික්ෂා තම අන්තිම මුදල් නෝට්ටු කීපය ගෙන දොස්තරට දෙයි)
දන්ත වෛද්‍යවරයා: (මුදල් සාක්කුවේ දමා ගනිමින් අච්චුවට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට තරුණයාගෙන් ඈත්ව) බාග වෙලාවට අමාරුව ඇත්තෙ දත්වල නෙමේ මේකගේ මොළේ... පිස්සු මෝඩයෙක්...
තරුණයා:  (එය හරියට නොඇසීම නිසා) මොකක්ද ....?
දන්ත වෛද්‍යවරයා: නෑ මං කිව්වෙ වැස්ස මෝරනව.. හෙට අනිද්දා වහීවි... (නැවත තරුණයා වෙත ගොස් හනුවල අච්චුව ගෙන ) බ්‍රහස්පතින්දට ඇවිත් දත්කුට්ටම ගන්න පුළුවන්.


දෙවන  දර්ශනය
වේදිකාවේ මැද පසුපසට වන්නට රෝගියකුගේ කාමරයක් අඳුරේ ඇත. කාමරයේ තරුණ හෙදියක් හා ඇඳක වැතිරුණු ලෙඩෙකුද නොසෙල්වී අඳුරේ සිටි. වේදිකාවේ ඉදිරිපස පමණක් ආලෝක කර ඇත. වාහනයක් නවත්වන හඬ ඇසේ. තොප්පියක් පැළඳි තරුණයා වේදිකාවේ වම්පසින් ඇතුළු වේ. 
තරුණයා:   (දත් කුට්ටම සපා බලමින් තමාටම) ෂ: කියල වැඩක් නෑ දත් කුට්ටම නම් නියමෙට හදලා තියෙනවා...දත් දොස්තරයා හිතන්න ඇත්තෙ මං මෝඩයෙක් කියලා...(සිනා සෙමින්) ඒ වුනාට මිනිහ දන්නවයැ මං ලස්සනට ප්ලෑන් කරල තිතට වැඩක් දෙන්න යනව කියලා....(වේදිකාවේ දකුණු පසට ඇවිද යමින්) මේක තමයි අපේ මාමාගේ ගේ, බලපල්ලකෝ මේ ගෙදර ලොකු ... මාමා තනිකඩයා....(තම ඇඳුම සකසා ගනිමින්) හොඳ සල්ලිකාරයා...ලක්ෂ ගානක දේපල..... හැබැයි කුණා.. ඒකනේ මේ ගෙදර තීන්ත ටිකක්වත් ගාලා නැත්තෙ. මිනිහට එච්චර වයසකුත් නෑ. ඒ වුනාට ලෙඩගානේ...පසු උරුමෙට කවුරුත් දරුවෙකුත් නෑ.... කොහෙද මං ගැනවත් එච්චර පැහැදීමක් තිබුණයැ කවදාවත්ම....(දොරට තට්ටු කරමින්) මාමේ...මාමේ....
හෙදිය දොර අසලට පැමිණේ...
හෙදිය:        (තරුණයා දෙස සැකමුසුව බලමින්) කවුද?
තරුණයා:   (හෙදිය ගේ රුවට වශී වෙමින්, තොප්පිය ගලවා අතට ගෙන කට පුරා සිනාවක් නගා දත් කුට්ටම වැටේයයි බිය වෙමින්)  මම ... මම මේ බොහෝම ඈත, .. අගනුවර ඉඳලා ආවේ...ඇඳෙන් බහින්න බැරි තරමට අසනීප වෙලා ඉන්න මගේ අසරණ මාමා බලන්න... අනේ එයාට දෙයියන්ගේම පිහිට ලැබෙන්න ඕනේ..., ඉටි රූපයක් වගේ බැබලි බැබලි ලස්සන මිසී කෙනෙක් මෙහ් ඉදීවි කියල කීයටවත් හිතුවෙ නෑ
හෙදිය:      (සැකමුසුව බලමින් තවමත් දොර අවහිර කරමින් ) මේ ගෙදර මහත්තයා පණිවිඩයක් යැව්වෙ නැහැනෙ කාටවත්...
තරුණයා: මගේ හිතට ලොකු බයක් ආවා මාමාට  අසාධ්‍යයි කියල ... ඒක මගේ හිතට ආවේ කොහොමද කියන්න දන්නෙ නෑ.. අර ටෙලිපතිද මොකක්ද වගෙ, මගේ මොළයට පණිවිඩේ ආවෙ ප්‍රමාද වෙන්නෙ නැතිව මාමා බලන්න යන්න කියල. කෝ... මට ඉඩ දෙන්න එයාගෙ ඇඳ ළඟට යන්න.
(හෙදිය පැකිලෙමින් ඉඩ අවුරාගත් විට ඇතුලේ රෝගියා ගෙන් ලොඹු කටකින් කෙඳිරිලි හඬකින් ඇතුළට එන ලෙස අඬගැසෙයි.  හෙදිය පසෙකට වන අතර දෙදෙනාම රෝගියා අසලට යයි. වේදිකාවේ පසුපස ආලෝකමත් වේ.  සීතල මැඩීමට මුළු ඇඟම වැසෙන සේ රෑ ඇඳුමකින් සැරසුනු ලොඹුකට රෝගියා  ඇඳමත වැතිර සිටී)
තරුණයා:   (ඇඳ අසලට දිව එමින්) අනේ මගේ ආදරණීය මාමේ.... මාමාව ආයෙත් දකින්න ලැබීම මගේ හිතට මොන තරම් සන්තෝෂයක්ද?... ඒ වුණත් මොකද මේ  මාමාගේ අත් දෙක මේ හැටි වෙවුළන්නේ... ඇස් දෙකත් ඇතුළට ගිලිලා.... කෙට්ටුවෙලා , සුදුමැළි වෙලා...
රෝගියා :       (ලොඹු හඬින් ) ඈ බං පුතේ උඹ ඔහොම කිව්වට , උඹෙත් නැහැනෙ සනීපෙන් ඉන්න පාටක්. කෙට්ටුවෙලා.. ඇදිල ගිහිල්ලා ... දත්ටික නොවෙන්ට උඹෙයි මගෙයි වැඩි වෙනසක් පේන්න නෑ නොවැ...
තරුණයා:    ඒක මං ජීවත් වෙන්න කරන සටන නිසා... ආයෝජනයක් කරන්න සෑහෙන මුදලක් අතේ නැතිව කිසිම දෙයක් කරන්න බෑ මාමෙ.. (තරුණයා හෙදිය දෙස බලයි)
පුද්ගලික කතාවට ඉඩදී හෙදිය කාමරයේ දොර වසාගෙන පිටවී යයි.
රෝගියා :     හාං හා...  ඔයා  එහෙනම් හොඳ පැත්තට හැරිලාද?.... පුතා දැන් මත්පැන් බීම  නවත්තලාද?...
තරුණයා:   බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා....
රෝගියා :        බොන්න පුරුදු වුනාම ඒක නවත්තන එක හරි අමාරු වැඩක් නේද?... (කොට්ටය යටින් ලොකු විස්කි බෝතලයක් ඇද එලියට ගනිමින්) පුතා බීම නවත්තලා නම් මං කොහොමද ඔයාට කියන්නෙ මගේ බෝතලේට හවුල් වෙන්න කියල. (බෝතලේ කට තබා උගුරු කීපයක් බොයි...තරුණයා කෑදරව එදෙස බලා සිටී)  ගුණ යහපත් වෛද්‍යවරයෙකු මට ලබා දීම ගැන මං දෙයියන්ට ස්තූති කරන්න ඕනෙ. එයා පරණ තාලේ ගම්බඳ දොස්තර කෙනෙක්.. අපි එයාට කියන්නෙ තිරික්කල් දොස්තර කියලා, අර ගොන් කරත්ත - තිරික්කල් තිබ්බෙ... ඒ කාලේ කෙනෙක් නේ....එයා තමයි මට මේ බෙහෙත නිතර බොන්න කියල නියම කලේ.
තරුණයා:   ඒක හින්දා වෙන්නැති මාමාගේ අත් දෙක ඔය තරමට වෙව්ලන්නේ.
රෝගියා :       පුතේ උඹේ අත්දෙකත් වෙව්ලනවනේ මගේ අත් ගානටම. හුඟක් මහන්සි වෙලා  වැඩ කරනව ඇති මයෙ හිතේ. ඒක නෙවෙයි, දැන් සූදුවට එහෙම යන්නෙ නැද්ද?
තරුණයා:   අම්මෝ නෑ... මම සූදුවට යන එක අත්ඇරල කොච්චර කල් වෙනවද.....
රෝගියා :      මට අහන්නත් කණගාටුයි,  ෂා ! අපි දෙන්නට බූරුවා අතක් ගහන්න තිබුනා. අපේ තිරික්කල්  දොස්තර කියන හැටියට කාඩ් ක්‍රීඩාවෙන් මට ලැබෙන උත්තේජනය මගේ ඇඟට හරි ගුණදායකයිලු. එයා කියනවා ඒකෙන් මාව නිරෝගි වෙනවලු. අපි දෙන්නා නිතරම වාගේ සූදු කෙළිනවා රෑ දොළහ එක වෙනකං .
තරුණයා:   ඒකෙන් තමයි මාමගේ ඇස් දෙක ගිලිල තියෙන්නෙ. හරියට නින්දක් නැතිව.
රෝගියා :       හහ්... ඔයාගේ ඇස් දෙකත් ඒ වගේ තමයි.  ඒක නෙවෙයි පුතා ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා ...
තරුණයා:   පිස්සුද මාමෙ... කෙල්ලෙක් දැකපු කාලයක් වත් මතක නෑ...
රෝගියා :         අපේ තිරික්කල් දොස්තර නම් කියන්නෙ...
තරුණයා:   (සම්පූර්ණ කිරීමට ඉඩ නොදී) දොස්තර දෙන අවවාද හොඳ ඇති... ඔය අවවාද පිළිපදින්න නම් මට සල්ලි ටිකක් ඕනෙ වෙනව මං හිතන්නෙ. මට සල්ලි ටිකක් දෙන්න මාමා අකමැති වෙන එකක් නෑ ...
රෝගියා :          ම්හ..ඒ වැඩේ නම් හරියන්නෙ නෑ පුතේ. සල්ලි නම් මං කොහොමටවත් දෙන්නෙ නෑ.
තරුණයා:   ඔහොම තත්වයක්  තියේවි කියල මට නිකමට හිතුණ. සල්ලි ටිකක් හම්බකරන්න මට සෑහෙන දුකක් විඳින්න වෙයි වගේ. මගේ හිතේ කුතුහලයක් ඇති වෙච්ච කාරණයක්  ගැන මාමගෙන් දැනගන්න කැමතියි. ... පසු කාලෙක වත් මාමගේ බූදලය මට ලැබෙන පිළිවෙලක් තියෙනවද ? මාමගේ  අන්තිම කැමතිපතර්‍ මා වෙනුවෙන් ....
රෝගියා :        (සම්පූර්ණ කිරීමට ඉඩ නොදී) එපා.. ඔය වගේ දේවල් ඔලුවට අරගෙන හිත අවුල් කර ගන්නේ මොකටද?
තරුණයා: මට ඒක කියන්න මාමෙ.. මං ඒක දැනගන්න කොච්චර උන්නදු ද කියල මාමට හිතා ගන්නවත් බෑ.
රෝගියා :         පුතාට ඒක දැනගන්නම ඕනෙ නම් කියන්නම්. මං මගේ බූදලය සම්පූර්ණයෙන්ම ලිව්වා මගේ හිතමිත්‍ර තිරික්කල් දොස්තරගේ නමට.   මිනිහා අවංකව ජීවත්වෙන, පරණතාලේ බොහොම හිතහොඳ මනුස්සයා.  එයාගෙ ප්‍රතිකාර ක්‍රම වලින් මට කොයිතරම් සැනසීමක් ලබනවද කියල ඔයාට හිතාගන්නවත් බෑ. මගේ වැඩකටයුතු ගැන බලන්න මිසී කෙනෙක් එව්වෙත් එයා තමයි.
තරුණයා:    ඒකත් එහෙමද? ඔය වගේ කතන්දරයක් සමහරවිට අහන්න වේවි කියල මට හිතුණා. ඔය ප්‍රශ්ණය ආවොත් ඒකට මූණ දෙන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් මගෙ සැලසුමක් තියෙනවා. එහෙම සූදානමින් ආපු එක ලොකු වාසනාවක් .. (නැගිටිමින්) කෝ මට ටිකක් ඉඩ දෙන්න..
(තරුණයා රෝගියා වෙත නැඹුරු වී කොට්ටය ගෙන රෝගියාගේ මුහුණ මත තබා තද කර හුස්ම හිර කරයි. රෝගියා දෙපා ටික වෙලාවක් සොලවා මියගොස් නිසලවෙයි. මිය ගිය රෝගියාගේ ඇඳුම් ගලවා ඒවායින් වහා සැරසුනු තරුණයා මිනිය සහ තම ඇඳුම් ඇඳ යටට තල්ලු කර රෝගියාගේ ඇඳේ හාන්සි වී පොරෝණය දමාගනී. දත් කුට්ටමද ගලවා ලේන්සුවක ඔතා කොට්ටය යටින් තබයි. .)
තරුණයා:   (ලොඹු කටින් මාමා අනුකරණය කරමින්) මිසී! මිසී!
හෙදිය:       (දිව එමින්) ඇයි කතා කලේ? (කාමරය වටා බලා ) කෝ ඔයාගෙ අර වැඩකට නැති ඥාති පුතා.
තරුණයා:  වත්ත පහළ ටිකක් ඇවිදලා එන්න කියලා ගියා...එයා වැඩකට නැති මිනිහෙක් කියල කියන්න එපා.. මං එයා ගැන සම්පූර්ණයෙන් වැරදි විදියට නෙ හිතාගෙන ඉඳල තියෙන්නෙ. මං තීරණය කළා මගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න. වහාම පණිවිඩයක් යවන්න මගේ නීතීඥ මහත්තයට පුළුවන් තරම් ඉක්මනට මෙහෙට එන්න කියල.
හෙදිය:        (පුදුම වෙමින්) ඇයි...ඔයා කොහොමද එකපාරටම මේ විදිහට වෙනස් වුණේ?
තරුණයා:   වෙනස් වුණේ?... මගේ කිසිම වෙනසක් වුණේ නෑ මිසී. මං මගේ අවසානයට ඉක්මනින් ළඟාවෙන බව මට තේරෙනවා. ඒ ඇරෙන්න මගේ වෙනසක් නෑ.  ඉතින් යන්න...
හෙදිය:        හරි දැන්ම යනවා...
(හෙදිය වහා නික්ම යයි)
තරුණයා:   (තමාටම) මං එයාට කියනවා මට අලුත් අන්තිම කැමති පත්‍රයක් ඕනෙ කියල. එයාට ලියාගන්න කියල මට පුළුවනි කියවන්න අන්තිමේදි නීතිඥයා ඉදිරියේදීම අත්සන් කරනවා මාම අත්සන් කරන විදියට වෙවුළන අතෙන්.. ඊට පස්සෙ මට ටිකක් නිදහසේ නිදාගන්න ඉඩාරින්න කියල දොර වහල දාල යන්න කියනව. ඊට පස්සෙ මට පුළුවනි ඇඳුම් ටික ආපහු මාරු කරගෙන මගේ අසරණ මාමාව ඇඳ උඩින් තියල දත් කුට්ටමත් දමාගෙන ජනේලෙන් පැනල ගිහින් වත්තෙ ටිකක් ඇවිදලා ගෙදර ඉස්සරහ දොරගාවට ආයෙත් එන්න. මගේ අසරණ මාමා නින්දේදීම සාමකාමීව අවසන් හුස්ම හෙළල කියල මිසීගෙන් දැනගත්තම මට පුළුවනි බාල්දි ගණනක් පිරෙන්න කඳුළු පෙරන්න..
(කළු බෑගයක් අතින් ගත් හැඩි දැඩි තරමක් වයස්ගත් පුද්ගලයෙක්  හෙදිය සමග කාමරයට ඇතුල් වේ.)
තරුණයා:   ඔබ ඉක්මනින් ආපු එක ගැන මට හුඟක් සන්තෝෂයි... මං හිතුවා මගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න. මං කැමතියි මට අයිති හැම දෙයක්ම මගේ මරණයෙන් පස්සේ මගේ ඥාති පුත්‍රයාට අයිති වෙනවට....
වෛද්‍යවරයා: මගේ හිතවත් මිත්‍රයා....ඔබට තිබුණු අසනීපය දැන් මොළයටත් පැතිරිලා...ඒ ගැන මට හරි කණගාටුයි.. කවුද හිතුවෙ මගේ මෙතරම් හිතවත් මිත්‍රයාට මාව අඳුනාගන්න බැරිවේවි කියල. මාව නීතිඥයා කියල වරදවා වටහා ගන්න තරමට ඔබේ මොළය නරක්වෙලා වගෙයි. වෙන කරන්න දෙයක් නෑ වහාම ඔබව සෝදිසි කර බලන්න වෙනවා... (වහා ඇඳ අසලට ගොස් තරුණයා ගේ බඩ මතින් පොරෝණය ඉවත්කොට තැන් තැන් ඔබමින් තට්ටු කරමින් පරීක්ෂා කරයි, දෑස් ලොකු කොටගත් තරුණයා කිසිත් නොකියා කෙඳිරිගායි) මං හිතුව හරි . ඔහේගෙ ශරීරයේ මෙන්න මේ හරියෙ මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා, ඔය මොළේ අමාරුව හොඳවෙලා ආයෙ යථා තත්වයට එන්න නම් ම වහාම ප්‍රතිකාර කළ යුතුයි (එකවරම තරුණයාගේ සිරුර මුහුණ යට අතට සිටින සේ පෙරළයි, තම කළුබෑගයෙන් වහාම දිග ඉදිකටුවක් සවිකළ විශාල සිරින්ජයක් ගෙන එය සෝදිසි කරමින්) වාසනාවකට වගේ... කොහේ ගියත් මම යන්නෙ ඕනෑම හදිස්සි අවස්ථාවකට සූදානමෙන්...
තරුණයා:  මට කිසි අසනීපයක් නෑ..(කළබල කලොත් තමා අමාරුවේ වැටීමට ඉඩ ඇති බව අවබෝධ කරගත් බවක් පෙන්වයි.)
වෛද්‍යවරයා: (තරුණයාගේ කොඳුනාරටියට බෙහෙත විදියි.)  දැනෙනවා නේද සීතල අයිස් වගේ බෙහෙත් ටික කොඳු නාරටිය දිගේ ගලා ගෙන යන හැටි... තව තත්පර තිහකින් බෙල්ලෙන් පහළ මුළු ශරීරයම අප්‍රාණික වෙයි. නමුත් මොළේ වැඩ , ඇස් කන් වැඩ ...ඔක්කොම පේනව ඇහෙනව..(තරුණයා නැවත උඩුබැලිව පෙරලයි)  හැබැයි ඇඟ සම්පූර්ණයෙන් හිරිවැටිලා. මම නම් ආදි කාලේ වෛද්‍ය ශාස්ත්‍රය උගත් , පරණ තාලෙ වෛද්‍යවරයෙක්.. ඒකනෙ මට තිරික්කල් දොස්තර කියන්නෙ... ඒ වුණත් වෛද්‍ය විද්‍යාවේ කෙරෙන නවතම සොයාගැනීම් , අළුත් ශල්‍ය කර්ම විධි, ප්‍රතිකාර විධි සහ ඖෂධ ආදී හැම දෙයක්ම මම අධ්‍යනය කරනවා. ඒ නිසා මේව මට අළුත් දේවල් නෙමේ...මොළේ අමාරු ඇතිවෙන්න ප්‍රධානය හේතුවක් තමයි උදර කුහරයේ - ඒ කියන්නෙ බඩේ අසනීප තිබීම. කොහොම වුණත් මොළේ නරක් වුණා කියල පැහැදිලියි...ඒ ගැන සැකයක් නෑ...එහෙම නැත්තන් තමන්ගෙ මුළු බූදලේම අර හොර තක්කඩි කොල්ලට ලියන්න හදාවියැ.. (හෙදියට) ඔයා නීතිඥයට කරදර නොකර මට දැනුම් දුන්නෙ හොඳ වෙලාවට...ඔයා හොඳ බුද්ධිමත් කෙල්ලක් (හෙදියගේ ලස්සන බලමින්) මේ කටයුතු හැම දෙයක්ම ඉවර වුණාට පස්සෙ අපි දෙන්නා යමු කොහේ හරි හොඳ විනෝද සවාරියක්... ඔය ශල්‍ය උපකරණ ඔක්කොම මෙහාට ගන්න ... මහත්තයගෙ අර ඥාති පුත්තරයා  මෙතන නොහිටිය එක මොනතරම් කණගාටුවට කරුණක්ද? ලෙඩෙකුට ශල්‍යකර්මයක් කරන්න කලින් ළඟම ඥාතියාගෙන් අවසර ගැනීම තමයි නියම පිළිවෙල.... මේ අහන්න , වැරැද්ද තියෙන්නෙ කොහෙද කියල හොයාගන්න තුරු ඉන්ද්‍රියන් එකින් එක එළියට අරන් බලන්න ඕනෙ ........ එහෙනම් පටන් ගමු...
(වෛද්‍යවරයා තරුණයාගේ උදරය මත කැපුම් තලය තබා පහලට අදී .... තරුණයාගේ උගුර යටින් නැගෙන විශාල කෙඳිරියකින් වේදිකාව පිරී යයි)
-------නිර්මාණය : දිල්රුක්ෂි රත්නායක ----------