Saturday, January 19, 2002

තුනුවි

වැහිපොද වැටේනම් නාඹර කිනිත්තට
සුසුවඳ මල් කැකුළු පෙළඹේ පිපෙන්නට
සිරිපොද ලෙසින් පතිතව සිත දොවන්නට
බැරිවෙද හෙමින් තුටු කඳුලක් හෙලන්නට

පිපුණද බාඳුරා ගොමු සුන්දර ලෙසිනි
ගුම්නද දෙමින් ගිය බඹරිඳු නොම වැටුනි
දුටුවද නේක ලලනාවන් යස රුවිනි
මා හද ඇඳුනු පෙම් සිතුවම නුඹ පමනි

පුරපස සඳකි වත සියපත පිපුණාම
ලැමහස තුනුවිලට කැදවයි ඉඳුරාම
මදහස පිරි මුවඟ පෙම් බස් පිරුණාම
සෙනෙහස නොම පුදා මම ඉන්නද කෝම

සිසිවත ඇදෙන විට පැහැදිලි අහස දිගේ
වුවනත නුඹේ නිතැතින් මතකයට නැගේ
සවනත වැකෙන විට සියොතුන් නාද මගේ
හදවත පිරෙයි නුඹ ලඟ ඇති විටදි වගේ